වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ :වට්ස්ඇප් නිවේදනයක් නිසා යැයි කියමින් තරුණයෙක් රැගෙන යයි !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔහු රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවකට ද යන්න සම්බන්ධයෙන් නිසි තොරතුරක් ඔහුගේ මව ඇතුළු පවුලේ පිරිසට ලබා දී නැති බවත් වාර්තා වේ.

මෙයට පදනම් වී ඇති කාරණය ලෙස අනුමාන කරන්නේ අගමැතිවරයාගේ වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂයක් නිසා සයිබර් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔහු කළ සඳහනක් හේතුවෙන් මීට පෙර ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබීමයි.
මෙම ප්‍රශ්න කිරීමෙන් පසු හේතුව හෝ වෙනත් විස්තරයක් ඔවුන් විසින් ප්‍රකාශ නොකරම ඊයේ (07) සිවිල් ඇඳුමෙන් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා පිරිසක් ඔහුගේ නිවසට ගොස් තමන් සමග පිටත්වීමට සූදානම් වන ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව රජිව් කුරුවිටගේ මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ මහතාට දුරකතනෙයන් දැනුම් දී තිබේ. තරුණයා රැගෙන යෑමට පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසෙන් ඔහු අත්අඩංගුවට ගන්නේ කුමන හේතුවකටදැයි විමසද්දී ඔවුන් කියා ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් හේතුවෙන් බවයි. අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇත්දැයි විමසද්දී වරෙන්තුවක් නැති බව එම පිරිස ප්‍රකාශ කර තිබේ.

තරුණයා අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාවක් මත, කුමන නීතියක් කඩකිරීම සම්බන්ධයෙන්දැයි විමසීමේදී චෝදනාව ප්‍රකාශ කර නැති අදාළ පිරිස, තරුණයා රැගෙන ගොස් තිබේ.
තමන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමට දිනයක් ලබාදෙන ලෙසත්, නීතීඥවරයෙකු සමඟ පැමිණීමට ඉඩදෙන ලෙසත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ ඔහු රැගෙන ගොස් ඇත. තරුණයා රැගෙන ගියේ කුමන ස්ථානයකටදැයි නිශ්චිතව නොදන්නා බව ද පවුලේ ඥාතීහු පවසති.

Leave A Reply

Your email address will not be published.

10 − 5 =