ෂෙල්ලප්පාගෙන් තල්රුප්පාවට ලැබුණු තෑග්ග

ගිනිගහන අව්ව උදෑසනම යාපන පොළොව මතට පතිත වී තිබිණ. මහත්මා ගාන්ධි මාවත ඔස්සේ මම ඒ මහා පොත් ගුල් රාජයා සොයා ඇවිදිමින් උන්නෙමි. උතුරා යන සතුටක් මගේ හිත මත වාන් දමනු දැනිණ. ශ්වේත පැහැගත් සුවිසල් ගොඩනැඟිල්ල අසිරිමත් වූ ශාන්ත බවින් යුක්තව සුබ්‍රමනියම් උද්‍යානය දෙස නෙත් හෙළා බලා හිඳී. පැරැණි මිත්‍රයකු දකින්නට ආ ලෙස මම ප්‍රධාන දොරටුව අසල හිඳ බලා උන්නෙමි. අර්ධ වෘත්තාකාර ශිඛර දැරූ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය හිස දැරූ පුස්තකාලය සතු අඳුරු මතකයන්ගේ අහුමුළු අතගානු වෙනුවට මේ මහා නිමැවුම සතු අතීත කතාව සොයන්නට මගේ හිත බලකරන්නට විය.

ලෝකය ලස්සන වන්නේ ස්වභාවධර්මයාගේ සොඳුරු බව නිසාම නොව පරාර්ථකාමී සිතුම් පැතුම් පිරි මිනිසුන්ද නිසාය. එවන් පරාර්ථකාමී මිනිසකු නිසා උපන් යාපනය මහජන පුස්තකාලය සොඳුරු මිනිසුන් බොහෝ දෙනෙකුට කිරුළු තැනුවා මෙන්ම කිරුළු තනමින්ද හිඳින්නේය.

ලෝකයේ පිළිස්සුණු පුස්තකාල අතර ඉන්දියා නාලන්දා පුස්තකාලය, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා, ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලය, ජර්මනියේ පුස්තකාල අතරට උතුරේ මහා සිළුමිණ යාපන පුස්තකාලය ද අයිති වනු ඇත. එහෙත් මේ යාපන පොත්ගුල පමණ ලංකාවේ සාම කතාව යළි ලියන්නට සුදුසු අන් යමක් නැත. පුස්තකාලයක් හැම විටම දැනුමෙන් මෙන්ම මනුෂ්‍යත්වයෙන්ද පොහොසත්ය.

අද යාපනයේ මහත්මා ගාන්ධි මාවතේ සුබ්‍රමනියම් උද්‍යානයේ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ශ්වේත වර්ණ සුවිශේෂ ගොඩනැඟිල්ලක මේ පුස්තකාලය පිහිටියත් එය උපන්නේ මේ හා සුවිසල් බවකින් නොවේ.

ඔහු නමින් කේ. එම්. ෂෙල්ලප්පාය. වෘත්තියෙන් යාපනයේ දිස්ත්‍රික් උසාවියේ ලේකම් තනතුරක් දැරුවෙකි. අධ්‍යාපනික, සමාජයීය, දේශපාලනික අතින් ඇසූපිරූ තැන් ඇත්තකු වූ ඔහු මතු පරපුරට මෙන්ම උගත්කමට ද ද අසීමිතව ආදරය කළේය. ඒ ආදරය ඔහුගේ හිතින් එළියට පැන පුස්තකාලයක්ව ඉපදුණේය. 1933 වසරේදී තමා විසින් කියවන්නට ගන්නා පොත්පත් හා පුවත්පත් තමන්ගේ නිවස වූ ‘ලංකා හවුස්’ හෙවත් ලංකා නිවසෙහි කාමරයක තැන්පත් කොට කියැවීමේ පිපාසයෙන් යුතු අසල්වාසීන්ට පොත පත කියවන්නට අවස්ථාව සලසා දුන්නේය.

ඒ අවස්ථාව කොපමණ දුරට ව්‍යාප්ත කළ හැකි දැයි සිතූ කේ. එම්. ෂෙල්ලප්පා 1933 වසරේ නොවැම්බර් 11 වනදා ඔහු රජයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද්දේ කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර ඇතුළු ද්‍රවිඩ ජනයා වෙසෙන පළාත්වල පුස්තකාල ඇරඹීම ඉල්ලුම් කරමිනි. ඔහු විසින් එම අභියාචනා ප්‍රාදේශීය පුවත්පත් වූ ‘ඉන්දු සතනාම්’ හා ‘ක්‍ැහකදබ ත්‍රුැ ඡරුි’ හි පළකරවන ලදී.

අවසන ෂෙල්ලප්පාට ඊට අවසර ලැබුණ අතර ඔහු 1934 ජුනි 9 වැනි සෙනසුරාදා යාපනය මධ්‍ය මහා විද්‍යාලයට රැස්වූයේ යෝධ ගමනකට තබන එක් පියවරක් ලෙසය.

එහිදී ඔහු කමිටුවක් පත් කර ගන්නට වූයේ සී. කුමාරස්වාමි, ටී. ඉෂාක් තම්බයියා, මුදලියර් වේලුපිල්ලේ, මුත්තයියා ඇතුළු උගත් බුද්ධිමත් පිරිසක් එක්රැස් කරගනිමිනි. ඒ අවස්ථාවේ ඔවුන් ප්‍රධාන අරමුණු කීපයක් මත පුස්තකාල පිහිටුවිය යුතු බවට තීරණය කළහ. එහි අරමුණ වූයේ. දෙමළ ඉගෙනීම සඳහා උද්‍යෝගිමත් කිරීම, කියැවීමේ පුරුද්ද ඇති කිරීම හා ඉගැන්වීම, පැරැණි පුස්කොල පොත් මිලට ගැනීම හා රැස් කිරීම, දෙමළ, සාහිත්‍යය, සංස්කෘතිය පිළිබඳව පර්යේෂණ කිරීමට උනන්දු කිරීම, දෙමළ භාෂාවෙන් පොත් සෙසු භාෂාවන්ට පරිවර්තනය කිරීම, සෙසු භාෂාවන්ගෙන් රචිත පොත් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම හා පුස්තකාලයක් ලෙස සියලු භාෂාවල පොත් එක්රැස් කිරීමයි,

මෙම කමිටුව රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ‘ෂෙල්ලප්පා’ හෙවත් යාපන මහජන පුස්තකාලයේ නිර්මාතෘගේ ලංකා හවුස් නිවසේ කාමරයක ලැගුම් ගත් පුස්තකාලය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කළේය. 1934 වසරේ අගෝස්තු පළමුවැනිදා යාපනය රෝහල් මාවතේ වූ ස්ථානයකට ඒ පුස්තකාලය ඔහු ගෙන ගිය අතර, එයට පුස්තකාලයාධිපතිවරයෙක් පත් වුණේය. ස්ථානයේ මාසික කුලිය රුපියල් විසිපහක්වූ අතර එවකට එහි වූ පුස්තකාලයාධිපතිගේ වැටුප රුපියල් විස්සක් විය.

මේ වන විට ෂෙල්ලප්පාගේ අප්‍රතිහත ධෛර්යය නිසාම එක්ලක්ෂ එක්දහස් අසූහතරකුත් ශත විසිදෙකක මුදලක් පුස්තකාලය සඳහා එකතු වී තිබිණි.

ඒ වන විට පොත් අටසිය හතළිස් හතරක් මෙන්ම පුවත්පත් හා සඟරා එකතුවක් විය. ඒ අතරට බොහෝ දෙනෙකුගේ පරිත්‍යාගද එකතු විය. උදෑසන 8.00 සිට රාත්‍රී 7.30 දක්වා මෙම පුස්තකාලය විවෘත කර තිබූ අතර, දිග බංකු දෙකක් හා ලියන මේසයක් ද, පුටු පහළොවක් ද, දැන්වීම් පුවරු දෙකක්ද, පොත් කබඩ් දෙකක් හා ඔරලෝසුවක් ද එහි වත්කම විය.

ඔයැ ක්‍ැබඑර්ක ත්‍රුැ ඛසඉර්රහ ්ිදජස්එසදබ කමිටුව 1934 වසරේ දෙසැම්බර් 20 වැනිදා තීරණය කරනු ලබන්නේ මෙම පුස්තකාලය නාගරික දිස්ත්‍රික් කවුන්සිලය යටතට පැවැරීමටය. 1935 වසරේ ජනවාරි පළමුවැනිදා පුස්තකාලය දිස්ත්‍රික් කවුන්සලයට පැවැරිණි.

1936 වසරේදී නැවත පුස්තකාලය තම නවාතැන් මාරු කරන්නට වූයේ ඉඩකඩ අවශ්‍ය වීම නිසාය. ඊට හේතුව පුස්තකාලයක් හැමවිටම වර්ධනය වන ආයතනයක් වීමය. මෙවර තෝරා ගත්තේ යාපනය ප්‍රධාන පාරේ අබුබකර් ගොඩනැඟිල්ලය. ඒ සමඟම ඊට නව පුස්තකාලයාධිපතිවරයකුද පත්වන්නට විය. නමින් සී එස්. රාජරත්නම් වූ ඔහු මැටි්‍රකියුලේෂන් විභාගය සමත් වූවෙක් විය. ඔහුගේ පුස්තකාලයාධිපති වැටුප රුපියල් තිස්පහක් විය. එහෙත් එම ස්ථානයේ වූ ඝෝෂාකාරී පරිසරය හේතු කොටගෙන නැවත තවත් නවාතැනකට යන්නට සිදුවිය. ඒ අනුව පුතූර් හි මල්ලවර්යාර් පවුලට අයත් ‘මල්ලවර්යාර්’ ගොඩනැඟිල්ලේ ඉහළ මහලට සේන්දු වූ පුස්තකාලය රුපියල් හැටපහක් මාසික කුලිය ලෙස ගෙවන්නට විය.

කල්ගත වෙත්ම මෙම පුස්තකාලය වර්ධනය වනවා සේම ඊට ස්ථීර ගොඩනැඟිල්ලක් අවශ්‍ය වග තීරණය කොට ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග යන්නට විය. මෙම කටයුත්තේ දී යාපනයේ ප්‍රථම නගරාධිපති ‘සෑම් සභාපති’ මෙන්ම ‘ලොන්ග්ස්’ පියතුමා මූලික විය. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙම පුස්තකාල ගොඩනැඟිල්ල ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තත්ත්වයකින් යුතුව ඉදිකිරීමටය.

එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ගැටලුවක් ඔවුන් වෙත වූ අතර ඒ සඳහා කානිවල්, නාට්‍ය, සංගීත සංදර්ශන පැවැත්වීම, සිදු කළ අතර, ඉන්දියානු කලා ශිල්පීහු ද මෙම කටයුතු සඳහා දායක වූහ. මේ සඳහා ඇමෙරිකානු, ඉන්දියානු තානාපති ආයතන මඟින් හා ව්‍යාපාරිකයන් ඇතුළු දානපතින්ගෙන් ද මුදල් එක්රැස් කරගන්නට විය.

පුස්තකාල ගොඩනැගිල්ල සඳහා ලන්දේසි කොටුව ආශ්‍රිත භූමියක් තෝරා ගන්නට විය. එහි පසෙකින් ‘මනි අප්පාර්’ කෝවිල ද විය.

මෙම පුස්තකාල කමිටු සාමාජිකයන් කොපමණ ඉහළ තත්ත්වයක පුස්තකාලයක් ඉදිකිරීමට සූදානම් වුවාද යත්, පුස්තකාල විද්‍යාවේ පියා වූ එස්. ආර්. රංගනාදන් හෙවත් එවකට ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපතිගෙන්ද ඔවුන් උපදෙස් ලබාගන්නට විය.

ඉන්පසු ඔවුන්ට පැනනැඟුණ ගැටලුව කවරාකාර ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව පුස්තකාලය ඉදිකරනවාද යන්නයි.ඒ අනුව මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පියකුවූ වී. එම්. නරසිම්හාන් ලවා ගෘහනිර්මාණ සැලසුමක් අන්දවා ගැනිණ. ද්‍රවිඩ ගෘහ නිර්මාණ කලාව නියෝජනය කරමින් අර්ධ ගෝලාකාර ශිඛරවලින් යුත් අලංකාර සැලැසුමක් ඊට තිළිණ විය.

ඒ අනුව 1954 වසරේ මාර්තු 29 වනදා මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඉදිකිරීම් අවසන් වූ පුස්තකාල ගොඩනැඟිල්ල 1959 ඔක්තෝබර් 11 වනදා එවකට යාපනය නගරාධිපති වූ ඇල්ප්‍රඩ් දොරේඅප්පා විවෘත කළේය.

මෙම නව ගොඩනැඟිල්ලට සුබ නැකතින් ගෙවදීමත් සමඟ විශාල පොත් සංඛ්‍යාවක් ඊට එකතු විය. ඉෂාක් තම්බයියාගේ කෘති එකතුව, ඉන්දියානු වෙළෙඳ සංගමයකින් ලැබූ කෘති එකතුව, රොබට් නොක්ස්ගේ ‘ලංකා ඉතිහාසයේ’ මුල් පිටපත, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ගේ ‘භගවත් ගීතාව’, සීතානාතම් සෙන්තමිල්, මෙන්ම රාමනාදන් මැතිනිය සතු වූ රාමයාන් ග්‍රන්ථයක් ජ්‍යොතිෂ පොත් පත් මෙන්ම මැලේසියාවේ දුරෙයිරාජසිංගම් පරිත්‍යාග කළ ආනන්ද කෙන්ටිෆ් කුමාරස්වාමිගේ අත් පිටපත 700ක් පමණ එහි විය. මීට අමතරව පුස්කොළ පොත් ඇතුළු විවිධ අත්පිටපත්ද ලැබුණු අතර, 1980 වන විට පොත් 97,000ක් පමණ මෙහි තිබිණි.

මෙම පුස්තකාලය ප්‍රධාන අංශ පහකින් පරිපූර්ණ විය. කියැවීමේ අංශය, බැහැර දෙන අංශය, විමර්ශන අංශය, ඇමෙරිකානු අංශය සහ ළමා අංශය ලෙසිනි.

ආසියාවේ වූ මහජන පුස්තකාල අතර සුවිශේෂී සලකුණක් වූ යාපනය පුස්තකාලය, ඛේදනීය තත්ත්වයකට ඇද දමමින් මුග්ධ වූ දේශපාලනඥයන් කීප දෙනකුගේ පෙළැඹවීමෙන් 1981 මැයි 31 වනදා රෑ ඒ මහා සලකුණ ගිනිබත් කෙරුණේ සිංහල, දෙමළ සැමගේ නෙත් කඳුළින් පුරවමිනි. එම කළුපැල්ලම ඉතිහාසයට එක්කොට නිශ්ශබ්ද වන්නට දෛවය ඉඩක් නොදුන්නේය.

ඒ අනුව නැවතත් මහත් පරිශ්‍රමයක් දැරූ පොත පතට පෙම්බැඳි යාපනයේ විද්වතුන් නැවත මෙම අළු වූ පුස්තකාලයට පණපොවන්නට මහත් පරිශ්‍රමයක් ගන්නට විය. ඒ අනුව ඔවුන් විවිධ කාර්යයන් ඔස්සේ ප්‍රතිපාදන ලබාගන්නට වෑයම් කළහ. ‘යාපන පුස්තකාල සතිය’ ආදිය මඟින් 1982 මැයි 15-21 දක්වා ප්‍රතිපාදන රැස්කරන්නට විය. ඒ අනුව විවිධ පිරිස් පොත්පත් ප්‍රදානයද සිදුකළ අතර, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව බොහෝ පිරිස් ඊට සහාය දෙන්නට වූහ.

ඉන් පසු නැවතත් යාපනය පුස්තකාලයට පණ දී ෆීනික්ස් පක්ෂියකු කරන්නට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබී ය. එහෙත්, දෛවය යාපන පුස්තකාලය නම් ෆීනික්ස් පක්ෂියාගේ ධෛර්යය පරීක්ෂා කොට බලන්නට තැත් කරමින් නැවත පුස්තකාලය ඇරඹී මාස හයක් යාමට මත්තෙන් 1985දී පුස්තකාලය ඊළාම් යුද්ධයකට හසු කළේය. ඒ හේතුවෙන් එහි වූ පොත්පත් ආරක්ෂා කිරීම උදෙසා නාවලර් හින්දු සංස්කෘතික ගොඩනැඟිල්ලේ පොත්පත් තැන්පත් කළේය.

1981 වසරේ දී ගිනිබත් වී දිවි පිදූ පුස්තකාලය 1985 වන විට ෂෙල් වෙඩි, මූනිස්සම්වලට තම ශරීරය පුද දෙන්නට විය. කෙසේ වුව ද, 1997 වසර තුළ දී එවකට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග රජය විසින් සුදු නෙළුම් ව්‍යාපාරය යටතේ ‘පොතයි ගඩොලයි’ සංකල්පය පෙරදැරිකොට සිංහල, දෙමළ සියලු ජනයාගේ පරිත්‍යාග හා කැපවීම් තුළින් යාපනයේ මහා පොත්ගුල් රාජයාට පණ දෙනු ලැබිණි.

අදත් අපි දකින ඒ මහරු මිණක් බඳු පුස්තකාලය ඒ තල්රුප්පාවට උඩින් මහා කොතක් සේ දර්ශනය වන්නේ ලෝකයේ නපුර සැමදා පැරැදී යහපත ජය ගන්නා වග සාඩම්බර ලෙස කියාපාමිනි.

මේ වන විට ඒ කාලකණ්ණි වූ අඳුරු සමයන් ගෙවී ගොසිනි. සාමයේ වසන්තය මුළු රටම වෙළාගෙන ඇත. මේ වන විට යාපනය මහජන පුස්තකාලය සතුව ඇති පොත් ප්‍රමාණය දෙලක්ෂ අසූදහස ඉක්මවා ඇත. ඒ සමගම මේ වන විට නල්ලූර්, වන්නාර්පන්නේ, නාවන්තුරෙයි, ගුරුනගර් හින්දු සංස්කෘතික පුස්තකාලය ආදි අනුශාඛා පුස්තකාල පහක්ද මෙම පුස්තකාලය සතුය.

ලෝකයේ පිළිස්සුණු පුස්තකාල අතර ඉන්දියා නාලන්දා පුස්තකාලය, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්‍රයා, ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලය, ජර්මනියේ පුස්තකාල අතරට උතුරේ මහා සිළුමිණ යාපන පුස්තකාලය ද අයිති වනු ඇත. එහෙත් මේ යාපන පොත්ගුල පමණ ලංකාවේ සාම කතාව යළි ලියන්නට සුදුසු අන් යමක් නැත. පුස්තකාලයක් හැම විටම දැනුමෙන් මෙන්ම මනුෂ්‍යත්වයෙන්ද පොහොසත්ය.

එදා මෙන්ම අදට ද මේ බිමේ වැඩහිඳින සරස්වතී දේවතාවිය දැනුම හිස දරා බලා හිඳින්නීය. මලින් පිරී ගිය බිමේ සොඳුරුතම රුවින් බැබළෙන යාල්පානම් පොත්ගුල තම අළුමතින් නැඟී සිට කියන කතාව ලියන්නට මෙන්ම අහන්නට ලැබීම ද වචනයට පෙරළිය නොහැකි හැඟීමකි.

අද වන විට මෙහි සේවය කරන සේවක සංඛ්‍යාව 72 දෙදෙනකු වන අතර මේ වන විට මෙහි තරුණ අංශයක්, ඉන්දියානු අංශයක්, ළමා අංශයක්, ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වන අංශයක්, ඇමෙරිකානු අංශයක් මෙන්ම කියැවීම් අංශ, පරිගණක අංශය, බැහැරදීම් හා විමර්ශන අංශයයද වේ. සතියේ දින හතම විවෘතව තබන මෙම පුස්තකාලයේ දෙමළ, සිංහල ,ඉංග්‍රීසි පුවත්පත් ද මිලට ගනු ලබන අතර එම පුවත්පත් එකතුවක්ද වේ. ඒ අතර කෞතුක වස්තු, එකතුවක් ද, චිත්‍ර එකතුවක් ද වේ. දේශන ශාලා, ද්විත්වයකින් ද සමන්විත පුස්තකාලය, දේවාලයක් ලෙස සලකනු ලැබේ.

මෙහි ඇතුළු වන සියලු දෙනාම පාවහන් ගලවා ඇතුළු විය යුතු අතර, පුස්තකාලය විද්‍යානුකූලව පවත්වාගෙන යනු ලැබීම ද දැකගත හැකිය. ඒ සියල්ල සේම ඔවුන් සතු කාරුණික සේවයද ප්‍රශංසනීයය●

(ස්තුතිය – පුස්තකාලයාධිපතිනි සුගන්ධනී සදාසිව මූර්ති, යාපනය මධ්‍ය සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකරු ලක්ෂ්මන් හා කබිලන් මහතා)
සඳරැසි සුදුසිංහ

(ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී)

 

Leave A Reply

Your email address will not be published.

eleven − 5 =