ආයුබොවන්ඩ නාමල් බේබි,

නාමල් බේබි දැන් ලොකු බබෙක් වෙලා වගේ පේනවා. ඩිජිටැල් ටැක්නොලොජියත් අපේ සෑර් ඔහේට දුන්නේ බේබිත් දැන් යමක් කොමක් කොරන්ඩ ඇහැකි පුත්තරයෙක් බව දැනිලා වෙන්ඩැති මයෙ හිතේ. බැසිල් බාප්පොච්චා උන් හිටි ගමන් අන්තර්දාන වෙනවත් එක්කම වගේ නේද බේබි ලොකු බබෙක් වුණේ? මෙලෝ රහක් නැති කාරියසාදක බළකා, අර කමිටු මේ කමිටු තැන් තැන්වල අටවගෙන බාප්පොච්චා අල්ලපු කස්තිරං ගැන විපරං කොරන්ඩත් මේක තමා හොඳම වෙලාව. හැබැයි ලොකු බේබි නං ඕවට කෙළින්ම අත දාන්ඩ යන්ඩෙපා වැරදිලාවත්. සයිඩ්ඩෙකේ ඉඳන් ඔය පසු පෙළේ පැඟිරෙක් ලව්වා ගින්න අවුළුවන එකයි ඇත්තෙ.

මේ අල්ල පනල්ලෙම දෙන්ඩ තියෙන තවත් ටොප් ගේමක් තමා බැසිල් බාපොච්චගෙ ඩුවෙල් සිටිසමද මොකක්ද එක කැන්සොල් කොරවල දාන එක. ඒ ජොබ්බෙකත් බැසිල් බාපොච්චගෙන් දිගටම ගේම ඉල්ලන විමල්-, ගම්මන් බානටම බාර දුන්නහම අහවරයි නෙ. අලුත් රාජකාරි ගොඩකට කරගහන්ඩ වෙලා තියෙන මේ ජාමෙ තමයි රජෝ චෑන්ස් එක ආපුවහම බේබි කපන්නැහෙ ඇහැක් තරන් තුරුම්පු ගගහා අපේ සෑර්ව මුරුංගා අත්තට නග්ගන එක. ඒකට නං ඉතින් ලොකු බේබිගෙ මොළගෙඩිය මෝරලා තියෙන තරම හොඳටම ඇති. ඒකට කොරන්න තියෙන්නෙ වැඩ කොරන -රට රකින අපේ විරුවා, හරියටම කොරපු ජනපතිඳා වගේ නෝන්ඩි වෙච්ච වචන සැට් එක වෙනුවට ඉරාජ් වගේ පොරක් අල්ලගෙන මොඩන් රීමික්ස් පාරක් දාන එක.

ඔහේ සීන් එකට ඇන්ටර් වෙලා ගතවුණ මේ ටික දොහට කොරපු කෙළි ටික දිහා බලපුවහම වුණත් හොඳටෝම පේනවා හෝම් වර්ක් ටික නං ටොපටම කොරල තියෙන විත්තිය. මීට දෙතුන් දොහොකට කලින් අර මොරටුවේ පුරපතියාගේ ඉන්ජැක්සන් ජරමරේ ගැන ලොකු සෑර්ගෙ ගර්ජනේ ඉදිරියේ ලොක්කො -බක්කො ඔක්කොම කොම්බු ගහගෙන උන්නු හැටි මතකද? ඒක අහම්බයක්ය කියලා රාජපක්ස පරපුරේ ඔටුන්න හිමි කුමාරයා හැටියට නාමල් බේබි අපෙ සෑර්ට දීපු රිප්ලයි එක මද්දුම බණ්ඩාර කුමාරයාගෙන් පස්සෙ කෙරිච්ච හොඳම එක හැටියට අනාගත මහාවංසෙ කුරුටු ගෑවෙනවා සහතිකයි.

කුරුණෑගල පුරාවස්තු වීරයාගෙ හැපි බර්ත්ඩේ එකට පොලෝසියෙ ඇත්තො කේක් කවපු සීන් එක ගැනත් අපෙ සෑර් ඔහෙලගෙන් පුරස්න කොරයි කියල බලාගෙන උන්නත් කාලි මෑණියන්ගෙ බැල්ම තියෙන හින්දද කොහෙදො ඒක යට ගියා. එහෙම බලනකොට කුරුණෑගල-පිළියන්දල ලොක්කන්ට තියෙන දේව අනුහස මොරටු පුත්තරයට නැත්තේ උන්නැහැ පුදන පඬුරු -පාක්කුඩංවල දෝසයක් හංදා වෙන්ඩත් බැරි නැහැ නේද බේබි? හොඳටම කොරන්නෙ අපියි කියලා අපේ සෑර් මන්තරයක් ජප කොරනවා වගේ නිතරපහේ කියන කතාවට ඉරාජ් ලව්වා තව ආලවට්ටං ටිකක් දම්ම ගත්තහම බේබිටත් පටස් ගාලා හිට් වෙන්න ඇහැක් වෙයි. වෙන මක්කවත් ඕනැ නැහැ බේබි කොරෝනා ඉන්ජැක්සන් ගැහිල්ලත් පොහොට්ටු කරමෙට හොඳටෝම කොළේ ඔහෙලා බව පොප් තාලෙට කියා ගත්තහම හොඳොටෝම ඇති? වසංගත අස්සෙ පෝට් සිටි කේස් එක ගොඩ දාගත්ත එකත් ඒකටම ඈඳා ගත්තොත් නැගලම යනවා සත්තයි.

අනේ බේබි ඔහේ එක පාරටම ලොකු බබෙක් උනා කියලා අප්පච්චි මහ රජ්ජුරුවො වෙලා උන්නු කාලෙ අපිට පෙන්නපු කාර් රේස් වගෙ සෙල්ලන් නං නතර කොරන්ඩ එපා. ඒ වුණත් මේ ඊයෙ පෙරේදා අපි දැකපු නැව් සෙල්ලම වගේ දඟකාර වැඩවලට නං දැන්ම අත ගහන එක නුවණට හුරු නැහැ බේබි. ඒවා ඔය කිරිකොට්, රගර් නැත්නං බොඩි බිල්ඩින් වගේ අත-පය තිබුණට විතරක් කොරන්න ඇහැකි කෙළි නෙවේ නෙ. හාබර් එකක්, තෙල් ටැංකියක්, ජම්බෝ ජෙට්ටෙකක් නැත්තං අඩුම ගානේ තරු පහේ හෝටලයක්වත් ගිලගන්ඩ ඇහැක් වුණොත් විතරයි නාමල් බේබි දැන් ඇත්තටම ලොකු ළමයෙක් කියල අපිට බයනැතුව රැකමොන් කොරන්න පු`ඵවන් වෙන්නෙ●

 

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

twenty − twelve =