නැව වගේම ගිලෙන ආණ්ඩුව

ගෝඨාභය රාජපක්ෂ, ජනතාවට කිව්වේ තමන් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරන බව ය. බලය ගත්ත ගමන් නිකමට පෙනුමට වාගේ එහෙම එකක් පෙන්නුවේ ය. ඒත්, හදපු ඇමති මණ්ඩලය සහ එහි විෂයයන් දිහා බැලුවා ම ඇති විද්‍යාවක් නැත. කරපු ලොකු ම බොරුව වුණේ, කැබිනට් අමාත්‍ය ප්‍රමාණය අඩු කරලා පෙන්වපු එක ය.

ඒක එහෙම කළාට රාජ්‍ය අමාත්‍යවරුන් බුරුතු පිටින් පත් කළේ ය. ඒ අයට බලය පවරලා වෙන වෙන ම ගැසට් පවා ගැහුවේ ය. කලින් නම්, ඇමති සහ නියෝජ්‍ය ඇමති ය. දැන් ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති යනුවෙන් ඇමතිවරු තුන්දෙනෙක්ය. සමහර අමාත්‍යාංශවලට ඇමතිවරුන් හතර දෙනෙක් ය. මේ දවස්වල වැඩියෙන් ම කතාබහට ලක් වන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමතිවරු හතර දෙනෙක් ය. පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සිසිර ජයකොඩි ඒ හතර දෙනා ය. හතර දෙනෙක්ම ඉඳලත් වැඩේ නම්, සම්පූර්ණ අවුල් ය. ඒ හතර දෙනා අතර විෂයයන් බෙදලා, වරප්‍රසාදත් ඒ විදියට ම බෙදා දී ඇත. මේ විදියට ගත්තා ම රාජ්‍ය ඇමතිවරු රොත්තක් ම සිටිති. බොහෝ අයගේ නම්, ගම්, ඇමතිකම් ආණ්ඩුවේ ම අය දන්නේ ද නැත. ජනතාව නම්, කොහොමත් ම දන්නේ නැත.

කොරෝනා පිළිබඳ මැදිහත් වීමේ තවත් බළකායක් සාදා ඇත. නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සාදා ඇති මෙය මේ දිනවල වැඩි කතාබහකට ලක් වේ. සෑම දිස්ත්‍රික්කයකම එන්නත්කරණය, නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් ආදී සියල්ල මේ බළකායෙන් සොයාබැලෙයි. ඒ කියන්නේ, හැම දිස්ත්‍රික්කයක ම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, බලධාරීන් කැඳවීමේ බලය නාමල්ට ලැබී ඇත. මේ දවස්වල හැම තැන ම නාමල් යන්නේ ඒ අනුවය. මෙතැන ඇත්තේ, සියුම් විද්‍යාවක්ය. දැනමටත් ආණ්ඩුවේ ගොඩක් ඇමතිවරුන්ට මෙය තේරී ඇත. ඒ කියන්නේ, නාමල්ව පුම්බාගෙන යන වැඩක් කොරෝනා අස්සේම සිදු වෙන බවය.

විද්‍යාත්මකව ඇමති මණ්ඩලය හැදුවා නම්, විටින් විට ඇමතිකම් අලුතෙන් සෑදිය යුතු නැත. මූලික විද්‍යාත්මක පදනමට යටත්ව පත් කිරීම් එකවර කළ හැකිව තිබිණි. එහෙත්, සිදු වන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක් ය. මේ කොරෝනා තුන්වැනි රැල්ල පටන් ගන්න ආසන්නයේ ම පොලිසිය භාර රාජ්‍ය ඇමති ලෙස සරත් වීරසේකර පත් කළේ ය. ටික දවසක් යන කොට ඔහු කැබිනට් අමාත්‍යවරයකු ලෙස නම් කළේ ය. විද්‍යාවක් තිබුණා නම්, එසේ විය නොහැකි ය.

කොරෝනා අස්සේ ප්‍රජා පොලිසියට තව රාජ්‍ය ඇමති කෙනකු පත් කළේ ය. ඒ දිලුම් අමුණුගම ය. ඔහුට තිබුණු ඇමතිකමට අලුතින් පොලිසියේ කෑල්ලක් ගලවා දුන්නේ ය. ඒත් එක්ක ම වෙන ම අමාත්‍යාංශ ලේකම්වරයකු, කාර්ය මණ්ඩලයක් සහ අනෙකුත් සියලු දේ වෙන් වන්නේ ය. දිලුම්ට මේක දුන්නේ ගෝඨාභය හිට්ලර් කෙනකු වගේ වුණොත් හොඳයි කියලා කියපු ගමන් ය. ඒ ප්‍රකාශයෙන් උද්දාමයට පත් වුණු නන්දසේන වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ කෑල්ලක් අමතර වශයෙන් දිලුම්ට දුන්නේ ය. ඇමතිකම දෙන්න පදනම් වුණු විද්‍යාව ඒක ය.

නන්දසේන බලයට එන කොට නිතර උජාරුවෙන් කයිවාරු ගැහුවේ, ඩිජිටල් තාක්ෂණය ගැන ය. ඒ නිසා ම ඒ අමාත්‍යාංශය තමන් යටතේ තියා ගත්තේ ය. ගෙවිච්ච කාලය තුළ කෙරිච්ච කෙංගෙඩියක් නැත. අන්තිමේ දී මේ කොරෝනා මරණ භය අස්සේ ඒ ඇමතිකම නාමල් රාජපක්ෂට දුන්නේ ය. දැන් ක්‍රීඩා කටයුතු ඇමතිකමට අමතරව නාමල්ට ඩිජිටල් තාක්ෂණය පිළිබඳ රාජ්‍ය ඇමතිකමක් ද ඇත්තේ ය. විද්‍යාවක් තිබුණේ නම්, විටින් විට මෙහෙම දේවල් සිද්ධ විය නොහැකි ය. මෙතැන ඇති විද්‍යාව වෙන එකක් ය. එතැන ඇත්තේ, පවුලේ විද්‍යාව ය. මේ වෙන කොට රාජපක්ෂ පවුලේ ඔක්කො ම ඇමතිවරු ය. සමහරු ඩබල්, ටි්‍රබල් ඇමතිවරු ය. ඇමතිකම දෙන්න විදියක් නැත් නම්, කාර්යසාධක බළකායවල් හදලා, ඇමතිවරුන්ටත් නැති බලතල දෙන්නේ ය. මෙච්චර ඇමතිවරු රොත්තක් ඉන්දැද් දී, බැසිල් රාජපක්ෂ කාර්යසාධක බළකා තුනක ම සභාපති ලෙස පත් කර ඇත්තේ ය. දිළිඳුකම තුරන් කිරීමේ බළකාය, කොවිඩ් වසංගතය පිළිබඳ බළකාය සහ අලුත් ම එක කාබනික පොහොර පිළිබඳ බළකායයි. මේ බළකායවල් තුනේ ම සභාපති වුණා ම අනෙකුත් සියලු ම අමාත්‍යාංශවල ඇමතිවරුන්, නිලධාරීන් කැඳවීමේ බලයක් ඔහුට ඇත්තේ ය. එය අදාළ ගැසට් නිවේදනවල ද පැහැදිලිව සඳහන් කර ඇත්තේ ය.

මේ අතර කොරෝනා පිළිබඳ මැදිහත් වීමේ තවත් බළකායක් සාදා ඇත. නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සාදා ඇති මෙය මේ දිනවල වැඩි කතාබහකට ලක් වේ. සෑම දිස්ත්‍රික්කයක ම එන්නත්කරණය, නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් ආදී සියල්ල මේ බළකායෙන් සොයාබැලෙයි. ඒ කියන්නේ, හැම දිස්ත්‍රික්කයක ම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, බලධාරීන් කැඳවීමේ බලය නාමල්ට ලැබී ඇත. මේ දවස්වල හැම තැන ම නාමල් යන්නේ ඒ අනුව ය. මෙතැන ඇත්තේ, සියුම් විද්‍යාවක් ය. දැනමටත් ආණ්ඩුවේ ගොඩක් ඇමතිවරුන්ට මෙය තේරී ඇත. ඒ කියන්නේ, නාමල්ව පුම්බාගෙන යන වැඩක් කොරෝනා අස්සේ සිදු වෙන බව ය. එය සිදු වන්නේ පවුලේ අනාගත සැලැසුමත් සමඟ ම ය. හදිසියේ ම ඩිජිටල් ඇමතිකම දුන්නේත් ඒකට ය. මේ දවස්වල මාධ්‍යවල හැසිරීම දිහා බැලුවා ම ඒවායින් නාමල්ව උස්ස උස්සා පෙන්වීමෙන් නියම විද්‍යාව පැහැදිලි ය. ඇත්තට ම එතැන ඇත්තේ, බල විජ්ජාව වෙනුවෙන් කෙරෙන මනෝවිද්‍යාව ය.

එහෙත්, ප්‍රශ්නය වන්නේ ගෝඨාභය හොඳට ම අසමත් වෙච්ච පරිසරයක ඔය කවුරු උස්සන්න හැදුවත්, වැඩක් වන්නේ නැති එක ය. ඒකෙන් වෙන්නේ නාමල්වත් සවුත්තු වෙලා යන එක ය. රාජපක්ෂ පවුලේ හොඳ ම වැඩකාරයා කියලා ගෙනාවේ ගෝඨාභය ය. එහෙත්, ඔහු අන්තිම දුර්වලයා ම ය කියලා පෙනෙන්නේ දැන් ය. හොඳ ම වැඩකාරයා කියපු කෙනා හැම වැඩක් ම අනා ගත්තා නම්, අනෙක් අවශේෂ අය ගැන කවර කතා ද? ඒ නිසා වෙලා තියෙන අලකලංචියෙන් බේරා ගන්න නාමල්ව පුම්බා ගත්තාට වැඩක් වන්නේ නැත. එහෙම කෘත්‍රිමව පුම්බන්නට හැකියාවක් ද නැත. දැන් ඇත්තේ, එක්සප්‍රස් පර්ල් නෞකාවේ තත්ත්වයයි. ඒ කියන්නේ, මුලින් ම රසායනික කාන්දුව ඇති වීම ය. දෙවනුව මහා ගිනි ජාලාවක් ඇති වීම ය. තුන්වනුව නැව මුළුමනින් ම ගිලී යාම ය.

ගෝඨාභයගේ වත්මන් ආණ්ඩුවත් හරියට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වාගේ ම ය. මුලින් ම බොහෝ තැන්වලින් රසායනික ද්‍රව්‍ය කාන්දු වෙන්නට පටන් ගත්තේ ය. ඒවා නැවටත් හානි ගෙන දුන්නේ ය. ජනතාවටත් හානි ගෙන දුන්නේ ය. ඊට පස්සේ ගිනි ගත්තේ ය. මුළු රට ම ගිනි ගත්තේ ය. කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ලෙන් ගිනි ගත්තේ ය. පොහොර හිඟයෙන්, ඉඩම් විකිණිල්ලෙන්, ඛනිජ සම්පත් විකිණිල්ලෙන්, පෝට්සිටියෙන්, වාහන ගෙන්නිල්ලෙන්, පරිසර විනාශයෙන්, ඔන්ලයින් අධ්‍යාපනයෙන්, බඩු මිල වැඩි වීමෙන්, ඒ අස්සේ ගංවතුර ගැලිල්ලෙන් හැම පැත්තෙන් ම ගිනි අරගෙන ය. සමහර ගිනි ගෙන්වා ගත්තු ගිනි ජාලාවන් ය.

මෙච්චර ගිනි අරගෙන තියෙද්දීත්, ආණ්ඩුවට වගේ වගක් නැති ය. ගින්නට අහුවෙලා දැවෙන ජනතාවගේ පැත්තෙන් දවසින් දවස ම ආණ්ඩුවට එල්ල වන්නේ විරෝධයන් ය. විරෝධය බුර බුරා ඉහළ යන්නේ ය. මේ වෙන කොට රතු කට්ට පනින මට්ටමට ම ඇවිත් ය. ඒ තත්ත්වයට ආවා ම ආණ්ඩුවට ගැලවිල්ලක් නැති ය. කරන්නට ඇති එක ම දේ නම්, ගින්නෙන් බේරෙන්න ජල පතුලේ ගිලී යාම ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට වුණෙත් ඒක ම ය. ගින්නෙන් විනාශ වෙලා අන්තිමට මුහුදු පතුලට ම ගිලුණේ ය. මේ ආණ්ඩුවත් දවසින් දවස ගිලෙමින් පවතී. නෞකාව ගිලුණා සේ ම ගිලී යයි. ගොඩ එන්නට දඟලන්නෝ සිටිති. විහින් ගිලෙන්නෝ ද සිටිති. මරලතෝනියෙන් දඟලන්නෝ ද සිටිති. ඔය කවුරු කවුරු සිටියත්, නන්දසේනගේ ආණ්ඩුව ගිලී යාම නවතාලිය නොහැකි ය. ඒ කැප්ටන් නැව පදින්නට දන්නේ නැතිකම නිසා ම නොවේ ය. නැවේ ආකෘතිය හදලා තියෙන විදියේ ම වැරැද්ද නිසා ය. ඒ විදියට හදපු නැවක් අනිවාර්යයෙන් ම ගිලී යන්නේ ය. එය සක්කරයාගේ පුතා වයිමාටවත් බේරා ගත නොහැකි ය●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

14 + 14 =