රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට රැගෙන එන්නැයි දැනුම් දෙයි

හෙට(07) පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහභාගී කරවන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය .

ඔහුගේ ඉල්ලීම අනුව අවශ්‍ය පහසුකම් සලසා දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස වේත්‍රධාරිවරයා දැනුම් දී තිබේ.

වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැගෙන එනු ලැබීමෙන් පසුව පාර්ලිමේන්තු පිවිසුමේදී පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන්ට බාර දිය යුතු බවත් එතැන් සිට පාර්ලිමේන්තු සංකීර්ණයට ඔහු රැගෙන එනු ලබන්නේ එම නිලධාරීන් විසින් බවත් වේ.

මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් යටතේය.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =