ඝාතකයා නිදහස් වෙයි. ඉතාලියම උදහස් වෙයි

පැලැර්මෝ පොලීසියේ මෙම ඌ-රු දඩයම ගැන මීට අවුරුදු 25කට කළින් ඉතාලි පුවත්පත් වාර්තා කර තිබුණේ ‍පොල්ගෙඩි අකුරෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේ ඌ-රා ලෙස භාවිතා කළත් ඉතාලි මාධ්‍ය විසින් ඔහුව හඳුන්වන්නේ Scannacristiani යනුවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් මේ වචනය People-slayer ලෙස අර්ථගන්වා තියෙනවා. සිංහල භාෂාවෙන් සාහසික ඝාතකයා කියල කිව්වාට වරදක් නැහැ. ඒත් Scannacristiani කියල කියන්නේ නිකම්ම මිනිසුන් මරා දමන ඝාතකයෙකුට නෙවෙයි.
කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගන්න කළින් රෝමයේ ක්‍රිස්තියානිනුවන්ට දස වද දී මරා දමා දමන සිරිතක් තිබුණා. සමහරුන්ව මරන්න කළින් ඔවුන්ගේ දිව කපා දැමුණා. පුරාණ රෝමයේ වදකයන්ගේ, අලුගෝසුවන්ගේ වගේම දිවකපන්නන්ගේ රැකියා සඳහා වෙන වෙනම කණ්ඩායම් පත්කර තිබුණා. එහෙම දිව කපන අයට භාවිතාවන Scannacristiani යන නමින් තමයි මේ ඌ-රාව ඉතාලි මාධ්‍ය විසින් හඳුන්වන්නේ.
ලංකාවේ මෙන් දේශපාලඥයන්ගේ අතකොළු වූ පාතාලයක් නෙවෙයි ඉතාලි මා-ෆියාව කියන්නේ. නමුත් වම්බොට්ටා, ඕල්කට් වගේ පාතාල නම් එහේ මා-ෆියාකාරයන්ටත් තිබෙනවා. Scannacristiani ගේ නියම නම ජොවන්නි බෘස්කා. ඔහු කොයිතරම් දරුණු ඝාතකයෙක් ද කියනවානම් පොලිස් නිලධාරින්ට පවා ඔහුව අත්අඩංගුවට ගැනීමට මුහුණු ආවරණය කරගෙන යන්න වුණා. 1996 දී ජොවන්නි බෘස්කා අත්අඩංගුවට ගන්නා මොහොත වන විට ඔහු අතින් ඝාතනය වූ ප්‍රමාණය 100 කට වැඩි බවයි වාර්තා වෙන්නේ.
අවුරුදු 25 කට පස්සේ ජොවන්නි බෘස්කාගෙ මාතෘකාව යළිත් කරළියට ආවේ ඊයේ ඔහුව හිටි අඩියේ නිදහස් කිරීම නිසයි. නඩු විභාගයෙන් පසු ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිපිරි ගෙට නියම වුණු මේ ඝාතකයා නිදහස් කිරීමට හේතුව වී තිබෙන්නේ ඔහු පසුව රජයේ ඔත්තුකරුවෙක් විදියට කටයුතු කිරීමයි. කෙසේ නමුත් ජොවන්නි බෘස්කාගේ නිදහස් වීම නිසා මේ වන විට ඉතාලි දේශපාලනය සිසිලියේ එට්නා ගිණිකන්දටත් වඩා ගිණියම් වී තිබෙනවා. ඝාතනයට ලක් වූවන්ගේ පවුල් වල සාමාජිකයන් කෝපයට පත් වී තිබෙනවා.
මා-ෆියා ව්‍යාපාරය ආරම්භ වුණේම ඉතාලියේ සිසිලි දූපතෙන්. දහනම වැනි සියවසේදී සිසිලි දූපතේ නගර වල විවිධ අපරාධ කල්ලි හිටියා. ඔවුන්ගේ අතේ තමයි ඒ නගර වල පාලනය තිබුණේ. පසුව මේ කණ්ඩායම් එකතුවෙලා ඔවුන්ටම සරිලන සැහැල්ලු ආචාර ධර්ම පද්ධතියක් (Code of conduct) හදා ගත්තා. බාහිර සමාජය ඉදිරියේ ඔවුන් පෙනී හිටියේ Cosa – Nostra (අපේ දේවල්) කියන පොදු නමකින්. නගර පාලනය කළේ ප්‍රාදේශීය පාතාල නායකයා විසින්. බොහෝ විට පාතාල නායකයාගේ පවුලේ අය වටේ තමයි මේ නගර වල බලය තිබුණේ. පිටින් ඇවිත් සෙල්ලම් දාන්න බැරි විදියට තමයි මේ සැකැස්ම හැදිල තිබුණේ. Cosa -Nostra සාමාජිකයන් තමන්ව හඳුන්වා ගත්තේ ගරු කටයුතු නම්බුකාරයන් විදියට. ඒත් සාමාන්‍ය මිනිස්සු ඔවුන්ට කිව්වේ Mafiosi නැත්නම් මා-ෆියාකාරයා කියලා. මධ්‍යධරණි මුහුදේ මංකොල්ල කෑම, නැව් වලින් කප්පම් ගැනීම, හොර ජාවාරම්, හොර ගිවිසුම් වගේ දේවල් මේ ඊනියා ප්‍රභූ පවුල් වල ඇත්තන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වී තිබුණා. ඊට අමතරව අපරාධකරුවන්, මංකොල්ලකාරයන් අතර ඇති වන ගැටුම් බේරුම් කිරීමත් මේ මාෆියා සංවිධානයේ රාජකාරියක්. පසුව බොහොමයක් මා-ෆියා පවුල් උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වුනා. දැන් නිව්යෝක්, චිකාගෝ වැනි නගර වලත් මාෆියා සංවිධාන ව්‍යාප්ත වෙලා තිබෙනවා.
තවමත් ඉතාලියේ සිසිලි දූපතේ මේ මා-ෆියා කණ්ඩායම් බලවත් තැනක පසුවෙනවා. ජොවන්නි බෘස්කා යනු බොහෝ කලක් ඉතාලි මාෆියාවේ ගෝඩ් ෆාදර් වූ සැලවතොර් රයිනාගේ නොහොත් ටොටෝ රයිනාගේ දකුණු අත විදියටයි සැළකෙන්නේ.
“මං සතෙක්. මගේ අතින් මරපු අය කොච්චරද කිව්වොත් ඒ අයගෙ නම්වත් මට මතක නැහැ. මතක විදියට 150කට වඩා මරල තියෙනවා.” රජයේ ඔත්තුකරුවෙක් වූ පසුව ඔහු පොලිස් නිලධාරින්ට පවසා තිබුණා.
ඔහු විසින් ඝාතනය කළ අය අතර ජොවන්නි ෆැල්කෝනි නම් විනිසුරුවරයෙකුත් සිටිනවා. ෆැල්කෝනි කියන්නේ මේ මා-ෆියා සංවිධාන වලට එරෙහිව මුළු ජීවිත කාලයම සටන් කරපු ඉතාලියේ ජනප්‍රිය විනිසුරුවරයෙක්. පැලැර්මෝ අධිවේගී මාර්ගයකදී බෝම්බයක් අටවා විනිසුරුවරයා, ඔහුගේ බිරිඳ හා තවත් ආරක්ෂකයන් තිදෙනකු මරා දැමීමට බෘස්කා කටයුතු කළා.
මේ ඝාතනය බෘස්කාගේ වැඩක් බව පොලීසියට හෙළි කළේ සාන්තිනෝ දි මත්තියෝ නම් තවත් මා-ෆියා නායකයෙක්. ඔහු පසුව රජයේ සාක්ෂිකරුවකු බවට පත් වුණා. ඒ ගැන බෘස්කා බොහෝ සෙයින් උරණ වුණා. ඒ නිසා මත්තියෝගේ එකොළොස් හැවිරිදි පුත්‍රයා වූ ජුසෙප්පෙ දි මත්තියෝව පැහැර ගත්තා. දරුවා බේරා ගැනීමට ඔහුගේ පියා සිසිලිය පුරාම ඇවිද්ද බව වාර්තා වෙනවා. ඕනෑම කොන්දේසියකට යටත් ව බෘස්කා සමඟ සාකච්ඡා කිරීමටත් ඔහු උත්සාහ කළා. නමුත් වසර දෙකක් පමණ වදකාගාරයක දරුණු වදහිංසාවන්ට ලක් කළ දරුවා අවසානයේ ගෙල කපා මරා සිරුර ඇසිඩ් බැරලයක ඔබා දියකර දැමූ බව පසුව වාර්තා වුණා. මේ ඝාතනය මෙතෙක් ඉතිහාසයේ සිදුවු දරුණුතම මා-ෆියා පළිගැනීම ලෙස සැළකෙනවා.
මේ අතර ඉතාලියේ ප්‍රධාන පෙළේ දක්ෂිනාංශික නායකයෙකු වූ මත්තේයෝ සල්විනි හා වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂයේ නායක එන්රිකෝ ලෙත්තා මේ නිදහස් කිරීම දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

La Sicilia / Giornale di Sicila පුවත්පත් ඇසුරිනි.

 

Leave A Reply

Your email address will not be published.

17 + one =