ජගත් පරිසර දිනය…නැවත කියවීමක්

සක්‍රීය වූ නිරිත දිග මෝසම විසින් මහ වැසි වස්සවමින් ගංවතුර, නාය යාම්… ඇතුළු ආපදාවන් රැසක් අප වෙත ඉතිරි කර ඇති මොහොතක ජගත් පරිසර දිනය ද ආපහු නිහඬව ම නික්ම යමින් සිටී. ලෝකයම වසා ගත් වසංගතයක උච්චතම අවස්ථාවක ඉතිහාසයේ පෙර නොවූ විරූ තරමට පාරිසරික ආපදාවන් අසන්නට ලැබෙන සමයක අද දවස අප කෙසේ භාරගත යුතු ද..? ලෝක බලවතුන් ද අසරණ කරමින් නොපෙනෙන වෛරසයක් විසින් මිනිසුන් ව සිය ග්‍රහණයට ලක් කරගෙන ඇති පසුබිමක කුඩා දූපත් රාජ්‍යයක් වූ අප ද වසංගතයේ අවදානම් සහගත අවදියකට අවතීර්ණ වී සිටින්නෙමු. ඒ අතරතුර ගංවතුර හා නාය යාම් වලින් ද ඉතා අවාසනාවන්ත ලෙස මිනිස් ජීවිතය අපට අහිමි වෙමින් පවතී.නිරන්තරයෙන් සිත පෙළෙන මේ ඛේදාන්තයන් අපිට නොකියා පවසන්නේ කුමක්ද…? අපට කොතැනක හෝ වැරදී ඇති බව නොවේද…. මගේ සිත කියයි. මහ වැස්සකට පසුව නිස්සරණ වනයේ දොළ පාරවල් තුරුණු වී ඇත. ගලා හැලෙන දිය දහරාවල හඬ සියලු දුක්ඛ දෝමනස්සයන් මදකට සමනය කරයි. දැඩි සංචරණ නීති මගින් රටම වසා ඇති මොහොතක මේ මහා වන දහන තුළ සොබා දහමේ නීතිය රජයන ආකාරය අසිරිමත් ය. කාලෙකින් මිනිස් ඇසුරක් නොලද නිසා දෝ මුළු වනයම නොකිලිටි ය. පක්ෂීන් සතා සිවුපාවුන් රිසිසේ නිදහසේ සැරිසරති. වනයේ අසිරිය බලන්නට එන අපේම අය විසින් මේ වන සම්පතට කර ඇති හානියේ නෂ්ටාවශේෂ තාමත් තැනින් තැන දකින විට සිතට ඇතිවන්නේ මහා පිළිකුලකි. සොබා දහමේ නීතිය ක්‍රියාත්මක වන මේ වනය තුළ කොරෝනා වයිරසයට ඉඩක් නැත. සත්තකින්ම වරද අප තුළ ම නොවේද…? අප විසින් පරිසරයට කරන හානියේ පමණටම පෙරලා අපට විපාක විඳින්නට සිදු ව ඇත. නමට පැලයක් සිටුවීමෙන් හෝ එක දවසකට පමණක් පරිසරය ගැන කතා කිරීමෙන් පලක් නැත. අප අපට අවංක විය යුතු ය. සිත්වල ඇති නොමිනිස් ගතිවලින් මිදී සමස්ත මානව සංහතිය ගැන ම සිතිය යුතු කාලය එළඹ ඇත.සොබා දහමට අවනත නොවීමේ විපාක වලින් මිදෙන්නේ නම් සත්තකින්ම සැබෑ ලෙසම අප පරිසරයට ආදරය කළ යුතු ය. ඒ මග හැර අන් මගක් අපට නොමැත.

– නිමල් කරුණාරත්න (fb)

(සේයාරූ : මීතිරිගල නිස්සරණ වනය)

Leave A Reply

Your email address will not be published.

15 − six =