“මේ පොළවේ සෑම බිම් අඟලක්ම මගෙ මිනිසුන්ට පූජනීය ය”

අද ලෝක පරිසර දිනයයි……..
(ලෝකයේ වැඩිම දෙනෙක් කියවිය යුතු….සියටැල් විසින් වොෂින්ටන් නායකයාට යැවූ ලිපිය )
වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිළදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත්‍රත්වය හා හොඳ හිත ද ප්‍රාර්ථනා කරයි. අපේ මිත්‍රත්වයෙන් ඔහුට එතරම් ප්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.
ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම මිලදී ගන්නේ කෙසේද ?
මේ අදහස අපට නම් විකාරයකි. සුළඟේ නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිළදී ගන්නෙ කෙලෙසද ?
මේ පොළවේ සෑම බිම් අඟලක්ම මගෙ මිනිසුන්ට පූජනීය ය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වලාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.
එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිළදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළොව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුදිරය යි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයේ ම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියාදෙනු මැනවි. මේ ජලය නගන මිමිණුම මගෙ මුතුනමිත්තන්ගේ කටහඬයි.
ගංගාවෝ අපේ සොහොයුරෝ ය. ඔවුහු අපේ පිපාසයය සංසිඳුවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් වෙනත් ඔනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.
අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේ ය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේ ය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට එක් භූමියක් තවත් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු මේ භූමිය කොල්ලකා පළා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව, සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසුකර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප්‍රථිඵල වන්නේ හිස් කාන්තාරයක් පමණකි.
සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලු විකසිත වන හඬ හෝ කුඩා කෳමි සතුන්ගේ පියාපත්වල සිලිසිලිය ඔබේ නගරවලදි ඇසෙන්නේ නැත. එහි ඇත්තෙ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.
ඇතැම් විට මා වැනි මිලේච්ඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාත්‍රියෙ පොකුණක් අසල මැඩියෙක්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද ?
සතුන්, තුරුලිය, හා මිනිසුන් යන අපි සියල්ලෝම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තාමත් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනිති. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.
ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන් දුම්රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වෙන්නේ කෙසේ දැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර් විට මා වනචාරී මිලේච්ඡයෙකු නිසා වීමට පුළුවන.
තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නෙ කෙසේද ? එසේ වුව හොත් ඒ හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ තිරිසනුන්ට සිදුවන දෙය ඉක්මනින්ම මිනිසාට ද සිදුවන නිසාය.
ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන්මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොදක් හෝ නරකක්ම එහි දරුවන්ටද උරුම වන්නේය. ඔබ භූමියට කෙල ගසන්නේ ද ඔබ තමාටම කෙළ ගසා ගනී.
මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත් ය. ඥාතීන් සියළු දෙනා එකම බැම්මකින් එකිනෙක හා බැදී පවතින බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාස භූමි වෙත යාම පිළිබඳව අප සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.
අප එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. ඒ අපෙ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.
එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගෙම දෙවියා ය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාටද එක හා සමාන ය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීමට එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත්‍ර කිරීමෙන් යම් රාත්‍රියක ඔබම නිපදවූ අපද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.
එහෙත් විනාශය කරා යන බව ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් වෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍ය ලබා දෙන්න වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම, මස්කරන ලද සෑම කෑලෑ අශ්වයෙකුම, හීලෑ කරන ලද පැහැබර කදු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද ? නැති වී ගොස්ය. රාජාලියා කොහිද ? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිළදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.
අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණබිම් මතින් පාවෙන වලාකුළක සෙවනැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තව දුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කලේ අලුත් උපන් ළදරුවෙකු තම මවගේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් එට ආදරය කරන්න. දෙවියන් අප සියළු දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්ම ය. පොළොව ඔහුට බෙහෙවින් අගනේය. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. ඒ අරුතින් අප සියළු දෙනාම සහෝදරයෝ නොවෙමුද?.
-හංසිනී කාවින්දි ගේ facebook පිටුවෙන්

Leave A Reply

Your email address will not be published.

19 − 4 =