ඉන්දියාවේ ඇසෑමයෙන් අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම්

අලින් පළවා හරිනවා වෙනුවට අලින්ට ආහාරයට අඬගසන ඇසෑම වාසීන්
විවාද වෙනුවට ක්‍රියාව – වෛරය වෙනුවට ආදරය- අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ඇසෑමයෙන්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය හැඳින්වෙන්නේ අලි-මිනිස් ගැටුම ප්‍රභල ලෙසම සිදුවන කලාපයක් ලෙසිනි. වාර්ෂිකව අලි මිනිස් ගැටුමෙන් ඉන්දියාව තුළ මිනිස් ජීවිත 400ක් පමණ සහ අලි ජීවිත 100 පමණ අහිමි වන බව වාර්ථා වේ. ඇසෑමය තුළ මෙම තත්වය වර්ධනය වීමට වාණිජ භෝගයක් ලෙස තේ වගාව සිදුකිරීම හේතු වී ඇති බව පැවසේ. විශේෂයෙන් තේ දළු කෑමට ඇති නොහැකියාව නිසා අලින් ගම් වදින්නටද පුරුදුව සිටී. ඇසෑම් ප්‍රාන්තයේම උපත ලබා මේ ගැටුම සිය දෑස්වලින් දැකගත් නව යුවළක් වූ දුලු බෝරා සහ මේගනා හසාරිකා ඒ සඳහා විසඳුමක් උදෙසා කැපවන්නට තීරණය කළහ.
ඔවුන් සිය මධුසමය සැපපහසු හෝටලයක ගෙවනු වෙනුවට චපනාලා ගම් වැසියන් තොන්ගි ගෝර් නමින් හඳුන්වන කුඹුරු මැද ඉදි කළ උස පැල් 3000 ක් අතරින් එකක රැය තුනක් ගත කළහ. අලින් ගම්වැදීම වළකා ගැනීමට ඇති එකම විසඳුම ඔවුන්ට අවශ්‍ය කෑම හා ජලය සපයා දීම බව ඔවුන් ගම්වැසියන්ට, ගොවීන්ට තේරුම් කර දුන්හ.
ඉන්පසුව සිදුවූ දෙය විශ්වාස කළ නොහැකි තරම්ය. චපනාලා සහ ඊට යාබද ගම් කිහිපයක ගොවීන් එකතුව වනයට ආසන්නව බීගා 600ක පමණ ඉඩම් ප්‍රමාණයක් අලින් වෙනුවෙන් වී සහ වෙනත් භෝග වවන්නට ඉදිරිපත් විය. සමාජ ක්‍රියාකාරිකයෙකු වූ 86 වියැති ප්‍රදීප් බුයාන් මෙම යුවළ සමඟ එක්ව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව මෙම අලින් සඳහා වූ වගා ව්‍යාපාරය ක්‍රියාත්මක කළේය.
2018 වසරේදී ආරම්භක අවස්ථාවේදී බීගා 200 පමණ ඔවුන් අලින් වෙනුවෙන් වෙන් කර තැබූහ. ප්‍රතිඵලය ලෙස අලින් ගම්වැදීමට හෝ ඔවුන්ගේ කෙත්වතු කරා ඒමට උනන්දුවක් නොදැක්වීය.
“මුලදි මිනිස්සුන්ට බයක් තිබුණා අපි එයාලගේ ඉඩම් අයිතිකර ගනී කියලා. ඒත් අපි ලිඛිතව ඒක එයාලට දුන්නට පස්සේ, එ්ගොල්ලො ඒක වටහා ගත්තා.” බෝරා විසින් මාධ්‍යට පවසා තිබිණි.
විශේෂයෙන්ම ගිය වසරේ කොරෝනා වසංගතය නිසා ලොක්ඩවුන් වීමත් සමග නගරයේ සිට ගම්වලට පැමිණි පිරිස මේ සඳහා සිය දායකත්වය වැඩි වශයෙන් ලබාදී ඇත. මේ අනුව පසුගිය කන්නයේදී ඔවුන් බීගා 40,000 පමණ කෙත්වතු ප්‍රමාණයක් පමණක් නොව එකදු අලි හෝ මිනිස් ජීවිතයක් විනාශයට යා නොදී රැකගන්නට සමත්වීම සැබවින්ම ආශ්චර්යයකි. දැන් ඔවුන් අලින් එලවනවා වෙනුවට ආහාරයට අඬගසයි.
මින් අප වටහාගත යුත්තේ සතුන්ට ආහාර ඇත්නම් ඔවුන් කිසිවිටෙක මිනිසාට කරදර කිරීමට නොපැමිණෙන බවය. පරිසරය අපගේ සතුරෙක් ලෙස නොව මිතුරෙක් ලෙස සලකා මෙලෙස ආදරණීය ලෙස ඒ සමඟ බද්ධ වී ජීවත් විය හැකි නම්, පරිසර දිනයේදී ඊටත් වඩා චින්තනයක් කොහිද? මේ උදාහරණ ලංකාවේ බලධාරීන්ට පමණක් නොව අප සැමගේම නෙත ගැටේවා! වැටවල් ගසා වෙන් කරනවාට වඩා මේ සහයෝගය ආදරය කෙතරම් අගනේද?
-රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

15 − 13 =