ජනපති මහින්දගේ සිට අගමැති මහින්ද දක්වා !

වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී අත්තනෝමතික ලෙස සේවක අර්ථසාධක අරමුදල බිල්ලට ගෙන, පෞද්ගලික අංශයට හඳුන්වා දීමට උත්සාහ දැරූ විශ්‍රාම වැටුප පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව කටුනායක ආයෝජන කලාපයේ පැවැති විරෝධතාවකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඊට සහභාගි වූ රොෂේන් චානක නම් තරුණයා මිය ගියේය.
ඒ 2011 මැයි 30 දා ය. 2021 මැයි 30දාට එම ඝාතනයට වසර දහයකි. මේ කෲර පොලිස් ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ කිසිම කම්කරුවෙකුට මේ වන තෙක් යුක්තිය ඉටුවී නොමැති බවට නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති චෝදනා කරයි.
‘වින්දිතභාවයට පත්වූ මෙම කිසිම කම්කරුවෙකුට මේ වන තෙක් රජයෙන් සාධාරණයක් ඉටුවී නැත. සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීමට පත් කළ මහානාම තිලකරත්න ඒක පුද්ගල කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කළද එම නිර්දේශ බලාත්මක කිරීමට අදාළ බලධාරීන් අසමත් විය.’ යනුවෙන් නිදහස් වෙළෙඳ කලාප කම්කරු සහයෝගිතාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ ප්‍රහාරයේදී රොෂේන් චානක ඝාතනය වූ අතර, තවත් හත්දෙනෙකු ආබාධිත තත්ත්වයට පත්විය. ප්‍රහාරවලින් තුවාල ලැබූ තවත් කම්කරුවන් 400ක් පමණ රෝහල් ගත කෙරුණු අතර, තවත් කම්කරුවන් 3,000ක් පමණ ශාරීරික පීඩාවට පත්වූ බව වාර්තාවල දැක්වේ.
රොෂේන් චානක ඝාතනය සම්බන්ධයෙන් පැවරූ නඩුව ද තවමත් මීගමුව මහාධිකරණයේ විභාගවෙමින් පවතී. මෙම නඩු විභාගයට අදාළව සාක්ෂි විභාග කිරීම තවමත් අවසන් වී නැත.
පහරකෑමට ලක්වූ කම්කරුවන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී පොලීසිය විසින් බලය අත්තනෝමතික ලෙස භාවිත කර ඇති බවයි. ප්‍රහාරයේ වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වූ එවකට පොලිස්පති මහින්ද බාලසූරිය, බ්‍රසීලයේ තානාපති තනතුරට පත්කර යැවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්පසුව ඔහු නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරයකට පත්කරන ලදී.
මේ ප්‍රහාරයෙන් තුවාල ලත් 16 දෙනෙකුට වන්දි ගෙවන ලෙස 2019 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කෙරිණි. පොලිසියේ පහර කෑමට ලක්වු කටුනායක වෙළඳ කලාපයේ සේවකයන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු විජිත් මලල්ගොඩ පවසා තිබුණේ එම 16 දෙනාගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

6 − four =