ප්‍රමුඛතා ලැයිස්තු මත එන්නත්කරණය නොකළොත් තත්ත්වය භයානකයි !

අවසන් දින 04 තුළදී පමණක් ඔක්සිජන් මත ජීවිතය පවත්වාගෙන යන කොවිඩ්
රෝගීන්ගේ ප්‍රමාණය සියයට 120කින් පමණ වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය 133 සිට දින 04 ක් තුළ 300 ක් දක්වා වර්ධනය වී ඇති බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි. මෙම තත්ත්වය මත කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත්, ඊට ඇති එකම විසඳුම අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදීම බවත් සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ප්‍රමුඛතා ලැයිස්තු මත එන්නත්කරණය සිදුවිය යුතු බවත්, විශේෂයෙන් වයස අවුරුදු 60 ඉක්මවූ සියලු ශ්‍රී ලාංකිකයන්ට පළමුව එන්නත් ලබාදිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.
එන්නත් මාත්‍රා මිලියන 30 ක් පමණ එකවර ගෙන්වා කඩිනමින් එන්නත් ලබාදීමෙන් වසංගත තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් පාලනය කළ හැකි නමුත් එවැනි වැඩපිළිවෙලක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බැවින් ලැබෙන එන්නත් ප්‍රමාණය ලබාදීමේදී වයස්ගත පුද්ගලයන් ඇතුළු අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.
මෙරට වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය මිලියන 2.7 ක් වන අතර, ඔවුන් සඳහා එන්නත් මාත්‍රා මිලියන 5.4 ක් අවශ්‍ය වේ.

Leave A Reply

Your email address will not be published.

6 + 11 =