කොවිඩ් අස්සේ රටේ සුද්දේ පිට පිට කැබිනට් පත්‍රිකා

කොවිඩ් 19 ව්‍යාප්තියට ඉඩ දී පසුව දැඩි සංචරණ සිමා පැනවූ ආණ්ඩුව ජනතාවගේ නෙත් කොරෝනා දෙසට යොමු වෙන අතරේ රටටත් ජනතාවටත් අහිතකර යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකා කිහිපයක් අනුමත කර ගත්තේය.
ඒ එකක් වන්නේ බලශක්ති ආයතනය කිහිපයක් විකිණිමේ කැබිනට් පත්‍රිකාවකි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ මැයි මස අග සතියේය. ඊට අමතරව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අධිවේගි මාර්ගයක් වසර 15 ට චීනයට පැවරීමේ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේ මැයි මස තුන්වන සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමටය. ඒ පෑලියගොඩ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා ඉදිවෙන අධිවේගි මාර්ගය වසර 15 කට චින සමාගමකට පැවරීමය.
තුන්වනුව ලාෆ් ලංකා සමාගම පාඩු ලබන බැවින් එහි කොටස්වලින් 70% ක් ලිට්රෝ ලංකා සමාගම මගින් මිළදි ගැනීමය. එම කැබිනට් පත්‍රිකාව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබුණි. මෙම සියළු කැබිනට් පත්‍රිකා අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණේ කිසිදු සංශෝධනයකින් තොරවය.

පළමුවරට මහාමාර්ගයක අයිතිය විදේශ රටකට

පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය ක්‍්‍යෑක්‍ නැමැති චින සමාගම පැවැරීමට තීන්දු කර තිබෙන අතර ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමුවරට ලංකාවේ මහාමාර්ගයක අයිතිය විදේශ රටකට හිමිවේ. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් 2020 ජනවාරි මාසයේදි පෙර කී සමාගමට ලබාදුන්නේය.
මෙම ව්‍යාපෘතිය චීන සමාගමට ලබා දෙන්නේ මීට වසර එකහමාරකට පමණ පෙර වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමගය. ඒ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව ජපානයේ සහන පොලී මත ඉදිරිකිරිමට කටයුතු කරමින් සිටි කණුමතින් දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ගය නවතා මෙම අධිවේගි මාර්ගය ඉදිරිකිරිමට කටයුතු කිරීමෙනි. රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව මෙම දුම්රිය මාර්ගය වෙනුවෙන් රාජගිරිය දක්වා ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් අත්පත් කරගෙන ජනතාවට අවශ්‍ය නිවාස වෙනත් තැන්වල ලබාදීම ඇතුළු සියළු කටයුතු නිමාකර තිබුනි.
මහාමාර්ගයේ ඉදිකිරිම් කටයුතු හා අයිතිය පැවරී ඇත්තේ පෝට් සිටිය ඉදිකිරිම් කරනා කොන්ත්‍රාත්කරු වෙතමය. එහිදි පැන නැගෙන සැකය වන්නේ පෝට් සිටි පනතේ මෙම මහාමාර්ගය සම්බන්ධයෙන් යම් කොන්දේසියක් පැවැතියේද යන්නය.

තෙල්, ගෙන්වීම, පිරිපහදුව, බෙදාහැරීම විදෙස් සමාගම්වලට

උදය ගම්මන්පිල ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම, පිරිපහදු කිරීම සහ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පැවරීමට අවසර හිමිවේ. ඒ වෙනුවෙන් ඛනිජතෙල් නිතීගත පනත සංශෝධනයට කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබේ. ඒ අනුව 1960 වර්ෂයේදි ටි.බී ඉලංගරත්න මහතා විසින් තෙල් ජනසතු කිරිමේදි ඉදිරිපත් කොට සම්මත කරගත් පනත නැවත වරක් සංශෝධනය කිරීම සිදුකර ඇත.
එවක බි්‍රතාන්‍ය සමාගමක් වූ ෂෙල් සමාගම සතුව පැවැති ඉන්ධන ඒකාධිකාරය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් ජනසතු කළ අතර එහිදි ටි.බි ඉලංගරත්න මහතා විසින් මෙම පනත ඉදිරිපත් කළේය. එම පනත නැවත සංශෝධනය වූවේ 2002 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදීය. ඒ ඉන්දියානු තෙල් සමාගමට (ෂධක්‍) තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරිමේ කොටසක් පැවරීම වෙනුවෙනි. එහිදි තෙල් බෙදාහැරිමේ පර්යන්ත සමාගම ලෙස සමාගමක් පිහිටුවා එහි තෙල් බෙදාහරිමේ පාර්ශවයක් ලෙස ලංකා ඉන්දියානු තෙල් සමාගම සම්බන්ධ කිරීම සිදුවිය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එම කටයුත්ත කරන අවස්ථාවේදී දැඩි දේශමාමක ප්‍රතිපත්තියක් පෙන්නුම්කර කරමින් රට විකුණා දමන බවට කෑ ගැසු රාජපක්ෂවරු හා එහි ප්‍රධාන කසකරුවකු වූ උදය ගම්මන්පිල ඇමතිවරයා විසින්ම රටේ ඉන්ධන අයිතිය පෞද්ගලික සමාගම් වෙත පැවැරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම දෛවයේ සරදමකි.
ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට මිලියන 600 ක පමණ ණය අර්බුදයකට ගොදුරුවී තිබේ. එයට හේතුව සංස්ථාව පාඩු ලැබීම නොව සංස්ථාව පාඩු ලබන තත්ත්වයට ඇද දැමීමය. තෙල් සංස්ථාවේ ලොකුම ණයකරුවා වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය ය. එම නිසා තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඩොලර් බිලියන 3 ක මුදලක් ගෙවීමට සිදුව ඇත්තේ තෙල් ආනයනය කිරිම වෙනුවෙනි.
තෙල් සංස්ථාව ණය උගුලින් ගලවා ගැනීමේ ආණ්ඩුවේ පිළියම වී ඇත්තේ පෞද්ගලික අංශයට පැවරීමය. සපුගස්කන්දේ පවතින තෙල් පිරිපහදුව නවීකරණය කිරීමටත්, හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමටත් අනුමත වී තිබේ. තෙල් පිරිපහදු ඉදිකිරිමේ කොන්ත්‍රාත් දැනටමත් විදේශ සමාගම් වෙත පැවරීමට තීන්දු කර ඇත. මෙහි හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරිම චිනයට පැවරීමට අනුමැතිය හිමිව තිබේ.
මින් පැන නැගෙන සැකය වන්නේ පිරිපහදු ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව දෙන චීන සමාගමටම තෙල් බෙදාහැරීමේ අයිතියත් දෙනු ඇතැයිද යන්නය. තෙල් ආනයනය හා බෙදාහැරිමේ වැඩිම හිමිකම දැනට පවතින්නේ ශ්‍රී ලංකා රජය සතුවය. ඉන් සියයට 40 ක කොටසක් ඉන්දියානු තෙල් සමාගම සතුවේ.
රජය සතු කොටස ද පෞද්ගලික අංශය වෙත ගියවිට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට රට ගොදුරුවීම වැලැක්විය නොහැක.
දැනට ද ඉන්දියානු තෙල් සමාගම අධික ලාභයක් උපයමින් සිටියි. එසේම රජයේ තීන්දුවට පිටුපා ඔවුන් තමන්ට හිතු ලෙස තෙල් මිල වැඩි කරනු ලබයි. මෙවැනි තත්ත්වයක් හමුවේ රජය සතු ඉතිරි හිමිකම ද පවරා දැමුව හොත් තෙල් මිල තීන්දු කිරිමේ බලය ද සමාගම් සතුවීම නිසා ජනතාවට ඔවුන් නියම කරන මිලකට තෙල් මිලදී ගැනීමට සිදුවේ.
දැනට ත්‍රිවිද හමුදාව, පොලිසිය යනාදී ආරක්ෂක අංශ තෙල් මිලදී ගනු ලබන්නේ ණය ක්‍රමයකටය. එහිදි යම් හෙයකින් ණය ගෙවීම ප්‍රමාදවුවහොත් හෝ නියමිත දිනට ගෙවීමට නොහැකි වුවහොත් සමාගම් ආරක්ෂක අංශ වෙත තෙල් නිකුත් නොකර සිටිමේ අයිතිය හිමිවේ. එය ආරක්ෂාව පැත්තෙන් දැඩි අර්බුදයකි.

විදුලි බලාගාරත් විදේශිකයන්ට

තෙල් බෙදාහැරිම පෞද්ගලික අංශයට පවරන අතරතුර පුත්තලමේ විදුලි ජනන බලාගාරය ඇතුලු බලාගාර කිහිපයක්ම විදේශිකයන්ට පැවරීමට විදුලි බල අමාත්‍යාංශය පිඹුරුපත් සකසමින් සිටින බවටද වාර්තා වේ. එයද මෙම ක්‍රියාවලිය යන අතරතුර සිදුවනු ඇතැයි වෘත්තීය සමිති සඳහන් කරයි. ඒ අනුව රටේ තීරණාත්මක සාධකයක් වන බලශක්ති ක්ෂේත්‍රය විදේශ රටවල් සතු කිරිමට දේශමාමක යැයි කියා ගන්නා ආණ්ඩු කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
මෙම කාරණය මුලුමහත් ජාතියේම අවධානය යොමු විය යුතු කාරණයකි. රට විදේශ රාජ්‍යයන්ට, විදේශ ධනවතුන්ට යටත් කිරිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යයි.

ලාෆ් පාඩුව ජනතාවගේ කරට

ඊළග කාරණය වන්නේ බංකොලොත් බව ප්‍රකාශ කරන ලාෆ් ගෑස් සමාගම සමග රජයේ ගෑස් සමාගම වන ලිට්රෝ ගෑස් සමාගම් සමග ඒකාබද්ධ කිරිමය. මහා භාණ්ඩාගාරයේ යෝජනාව අනුව මෙම අදාළ කැබිනට් පත්‍රිකාව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබුනි.
ලාෆ් සමාගම මෙරට ගෑස් ඉල්ලුමෙන් මෙටි්‍රක් ටොන් 60 දහසක් සැපයීමේ හැකියාව පවතින අතර ඔවුන් හම්බන්තොට පිහිටවූ නව පර්යන්තය හේතුවෙන් මෙටි්‍රක් ටොන් 30,000 ක් බෙදාහැරිමේ හැකියාවක් පවතියි. ලාෆ් සමාගම පවසන්නේ ඔවුන් රුපියල් බිලියන 22 ක පමණ ණය බරකට මුහුණ දී සිටින බවය.
ලිට්රෝ ගෑස් සමාගමේ ධාරිතාව මෙටි්‍රක් ටොන් 8000 කි. එයද අලාභ මත පවත්වාගෙන යන ව්‍යාපාරයකි. එහි ප්‍රධාන ආයෝජකයා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය. ඒ අනුව ලිට්රෝ සමාගම පූර්ණ රාජ්‍ය සමාගමකි. කැබිනට් පත්‍රිකාව යෝජනා කරනු ලබන්නේ මිල ස්ථායීකරණය උදෙසා ලාෆ් සමාගමේ ණය බර රජයේ කරට ගැනීමටය. රජයේ මුදල් යනු ජනතාවගේ මුදල්ය. එනම් පාඩුව ජනතාවගේ කර පිට පැටවීමය.
දැනටමත් ණය බරකින් සිටින ලිට්රෝ සමාගම මත තවත් ණය බරක් පටවා ගැනීමට කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබේ. නමුත් ලාෆ් සමාගමේ පූර්ණ අයිතිය ලිට්රෝ සමාගමට හිමි නොවේ. හිමි වන්නේ 70% ක කොටසක් පමණකි. මෙයින් පෙන්නුම් කරන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයෙකු ගලවා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් වන බවකි.
අවසානයේ සමාගම් දෙකම විදේශයට පවරා දීමේ හැකියාව ආණ්ඩුව සතු වන බැවින් එයද අරමුණක් විය හැකිය. කෙසේ නමුත් ජනතාවාදී, දේශප්‍රේමී වෙස් වලාගෙන බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට චීනය සහ තවත් අධිරාජ්‍යවාදී රටවලට ලංකාවේ භූමිය හා සම්පත් අලෙවි කරමින් සිටින බව පැහැදිලිය. සැම්බියාවට වූ දේ ලංකාවට නොවීමට නම් ජනතාවගේ මැදිහත්වීමක් අවශ්‍ය ය. නැතිනම් ශ්‍රී ලංකාව තවත් සැම්බියාවක් වීම වැළැක්විය නොහැක.
– ලසන්ත වීරකුලසූරිය 

Leave A Reply

Your email address will not be published.

eighteen + 5 =