“ලංකාවත් අප්‍රිකානු කලාපයේ වගේ නැව් ගිල්වා දමන ප්‍රදේශයක් කරන්න යනවාද කියල සැකයි”

අපද්‍රව්‍ය සහිත නැව් අනතුරට පත්වුණාම අප්‍රිකානු කලාපයේ දූෂිත පාලකයන් සමග එක්වී ඒ මුහුදු ප්‍රදේශවලට ගෙන ගොස් ගිල්වා දමන බවට වාර්තා වෙනවා ලංකාවත් එවැනි මුහුදු ප්‍රදේශයක් කරන්න යනවාදැයි සැකයක් පවතින බව  අනුර දිසානායක පවසයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අනුර දිසානායක මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්

“විවිධ අපද්‍රව්‍ය සහිත නැව් මුහුදේදී අනතුරුවලට පත්වුණාම අප්‍රිකානු කලාපයේ දූෂිත පාලකයන් සමග එක්වී ඒ මුහුදු ප්‍රදේශවලට ගෙන ගොස් ගිල්වා දැමූ බවට වාර්තා පළවෙනවා. ලංකාවත් එසේ ගිල්වා දැමීමේ මුහුදු ප්‍රදේශයක් බවට කොමිස් සහ විවිධ දූෂිත ගනුදෙනු තුළින් පත්කළාද කියන සැකය මතුව තිබෙනවා.

වරායවල් කිහිපයක් ප්‍රතික්‍ෂේප කරමින් තිබියදී ලංකාවේ වරායට පැමිණීමට අවසර ලබාදුන්නේ කවුද? ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේම වන්දි ලැබෙන බව කිව්වා. ඩොලර් හිඟයකින් පෙළෙන වෙලාවේ අපද්‍රව්‍ය සහිත නැව් ලංකා මුහුදේ ගිල්වීම අදායමක් බවට පත්කරගෙන තිබෙනවාද දන්නේ නැහැ. මේ පිළිබඳවත් ඇමතිවරුන් විවිධ ප්‍රකාශ කරනවා. නමුත් අවසානයේ අපේ සාගර පද්ධතියටත් ධීවර ජනතාවගේ ජීවනෝපායට විශාල බලපෑමක් සිදුවී තිබෙනවා. පාරිසරික හානි දශක ගණනාවක් යන තෙක් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවට මත පළ කරනවා. අපේ මුහුදු තීරයට ඇතුළත් වනවිට දුම් නැගෙමින් තිබියදීත් එය මුළුමනින්ම විනාශ වන තුරුත් අපේ මුහුදු සීමාවෙන් පිටතට ගෙන නොගියේ ඇයි? ඒ නිසා නැව ගිලෙන්නේ ප්‍රශ්න සමුදායක් එක්ක. මේ ප්‍රශ්නයත් නැව ගිලී යාමෙන් විසඳීමේ උත්සාහයක් ආණ්ඩුවට තිබෙනවාද? කියන ප්‍රශ්න මතුවෙනවා. මේ සඳහා විධිමත් පරීක්‍ෂණයක් සිදුකර කරුණු රටට හෙළිකළ යුතුයි. ඊට වගකිව යුතු දේශපාලන නායකත්වයට, නිලධාරී යාන්ත්‍රණයට අනිවාර්යයෙන්ම නිසි දඬුවම් ලබාදිය යුතුයි. හැබැයි අපේ රට නඩු හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ තත්වයක තිබෙන නිසා මෙය යටපත් වේය යන අදහසට වැඩිපුර ඉඩ තිබෙනවා.”

Leave A Reply

Your email address will not be published.

15 + 3 =