කපිතාන් නැවත් සමඟ බැස යයි

කොහොම නමුත් නැව සමඟ බැස ගිය කපිතාන්ලාගේ සමාජයට අලුතින්ම එකතු වුණු සාමාජිකයා ගැන ඊයේ රතු මුහුදෙන් වාර්තා වුණා. අද හිමිදිරි පාන්දර රතු මුහුදේ රාස් ගරීබ් වෙරළට ඔබ්බෙන් INSPECTA7 නම් තෙල් නැව ගිලී ගියා. ඒ නැවේ කපිතාන්වරයා වුණේ ඊජිප්තු ජාතික යූස්රි සුල්තාන්. කපිතාන් වරයාත් නැවේ ඉංජිනේරුවාත් හැර ඉතිරි නාවිකයන් 11 දෙනාම ජීවිතය බේරා ගෙන තිබෙනවා. තමන්ගේ සගයන් බේරාගන්නා තෙක් නැවෙන් පිටතට පැමිණීම සුල්තාන් මහත්තයා විසින් ප්රතික්ෂේප කරපු බව තමයි පැවසෙන්නේ . ගිලෙන නැවේ ඩෙක් තට්ටුවේ සිට තමන්ගේ නාවිකයන් බේරාගන්නා හැටි දකිමින් සතුටින් හිටපු කපිතාන් වරයා ගැන බේරී ආ සගයන් පසුව ශෝකයෙන් වාර්තා කර තිබුණා.

“කපිතාන් නැවත් සමඟ බැස යයි” (The captain goes down with the ship) කියලා සමුද්‍රීය සම්ප්‍රදායක් තිබෙනවා. ඒ අනුව නැවක් මූදුබත් වෙන විට නැවේ කපිතාන්වරයා නැත්නම් කප්පිත්තා නැවත් එක්කම ගිලෙන්න ඕනැද? එහෙම නැහැ. නැවක් අනතුරට පත්වුණාම නැවේ ඉන්න සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ඉවත්වෙනකම් කපිතාන්වරයෙකුට ගිලෙන නැවක රැඳී ඉන්න බැඳීමක් ඇති බවට තමයි ඒ Slogan එකෙන් කියවෙන්නේ . ඒ වගේම නැව හා එහි ඇති භාණ්ඩ පිළිබඳව කපිතාන්වරයාට ඇති වගකීම ගැනත් එයින් කියවෙනවා. එහෙම නැතිව නැවත් එක්ක මූදු පතුලේ මිහිදන් වෙන්න කියලා කවුරුත් කපිතාන්වරයාට බල කරන්නේ නෑ. නමුත් මූදුබත් වන නැවේ සිටිය යුතු අවසාන පුද්ගලයා කපිතාන්වරයා විය යුතු බවට සමූද්‍රීය සම්ප්‍රදායක් පවතිනවා.
මේ ගැන කතාකරන විට ලෝකයම දන්නා නැව් කප්පිත්තා තමයි කපිතාන් එඩ්වඩ් ජේ. ස්මිත්. එතුමා තමයි අපි කවුරුත් දන්න ටයිටැනික් නැවේ කපිතාන්. 1912 අවුරුද්දේ ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරයේ ගිලී යද්දී උන්නැහේ තමන්ගේ ජීවිතය බේරාගන්න උනන්දු වුණේ නැහැ. අන්තිම තත්පරය දක්වාම අනෙක් අය බේරා යැවීමට කටයුතු කළා. අවසානයේ එතුමා නැවත් එක්කම මූදු පතුලේ ගිලී ගියා. ඒ වන විට මේ සම්ප්‍රදාය තිබුණේ පොතේ විතරයි. නමුත් කපිතාන් ස්මිත් ඒ සම්ප්‍රදායට අවශ්‍ය නිල ගෞරවය ලබා දුන්නා.
ටයිටැනික් කපිතාන්වරයා අනුගමනය කරමින් නැව සමඟ බැස ගිය තවත් කපිතාන් වරයෙක් තමයි ඉතාලි ජාතික ජොවන්නි විලියෝනි . 1918 දී මධ්‍යධරණී මුහුදේ පිහිටි සාඩිනියා දූපත ආසන්නයේදී UB-49 කියන යුද යාත්‍රාව අනතුරට පත් වුණා. යාත්‍රාවේ කොමදෝරුවරයා විදියට වැඩ බැලුවේ විලියෝනි. එහි ගමන් ගත් සියලු දෙනාට ජීවිතාරක්ෂක බෝට්ටුවලට යන්න අණ කරපු විලියෝනි මහත්තයා නැවෙහි රැඳී සිටිමින් නැව සමඟ බැස යාමට තීරණය කළා.
ඉන් පස්සෙත් එහෙම නැව සමඟ බැස ගියපු කපිතාන් වරුන් කිහිප දෙනෙක් ගැන වාර්තා වෙනවා. ඉතාලි ජාතික කපිතාන් කොර්වෙත්තා ලොරෙන්සෝ බෙස්සි, ජපන් ජාතික කපිතාන් යුසාකු යනගිමෝටෝ හා ඇමෙරිකානු ජාතික කොමදෝරු හොවාර්ඩ් ගිල්මෝර් ගැන තිබෙන වාර්තා මේ අතරින් කැපී පෙනෙනවා. නමුත් ටයිටැනික් නැව හැර මේ කියපු අනෙක් ඔක්කෝම පළමු හා දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කරපු යුද නැව් හෝ සබ්මැරීන් බවත් කියන්න ඕනෑ.
නැව සමඟ බැස ගිය කපිතාන් වරුන් ගැන ලෝකය හොයන්න ගත්තේ බොහොම මෑතකදී ෆ්‍රැන්චෙස්කෝ ෂෙටිනෝ කියන කප්පිත්තා කරපු නොහොබිනා වැඩේ නිසයි. ඔහු තමයි 2012 වසරේදී ඉතාලි වෙරළේ හැපී විනාශ වුණු Costa Concodia නැවේ කපිතාන්. නැව හැප්පෙනවාත් එක්කම ඔක්කෝටම කළින් මිනිහා නැවෙන් පැනල ගියා. නැවේ හිටපු මගීන් තිස් දෙනක් මියගියා. නඩු විභාගයෙන් පස්සේ උන්නැහේට අවුරුදු 16 කට මහ උළුගෙදර තපින්න නියම වුණා.
කොහොම නමුත් නැව සමඟ බැස ගිය කපිතාන්ලාගේ සමාජයට අලුතින්ම එකතු වුණු සාමාජිකයා ගැන අද රතු මුහුදෙන් වාර්තා වුණා. අද හිමිදිරි පාන්දර රතු මුහුදේ රාස් ගරීබ් වෙරළට ඔබ්බෙන් INSPECTA7 නම් තෙල් නැව ගිලී ගියා. ඒ නැවේ කපිතාන්වරයා වුණේ ඊජිප්තු ජාතික යූස්රි සුල්තාන්. කපිතාන් වරයාත් නැවේ ඉංජිනේරුවාත් හැර ඉතිරි නාවිකයන් 11 දෙනාම ජීවිතය බේරා ගෙන තිබෙනවා. තමන්ගේ සගයන් බේරාගන්නා තෙක් නැවෙන් පිටතට පැමිණීම සුල්තාන් මහත්තයා විසින් ප්‍රතික්ෂේප කරපු බව තමයි පැවසෙන්නේ . ගිලෙන නැවේ ඩෙක් තට්ටුවේ සිට තමන්ගේ නාවිකයන් බේරාගන්නා හැටි දකිමින් සතුටින් හිටපු කපිතාන් වරයා ගැන බේරී ආ සගයන් පසුව ශෝකයෙන් වාර්තා කර තිබුණා.
ලෝකය පුරා යාත්‍රාකරමින් සිටින නාවිකයන් බොහෝ දෙනෙකු අද ඔහුට ගෞරවනීය ආචාරය පුද කර තිබුණා.
Maritime Bulletin/ Egypt Independent ඇසුරිනි.
– ශානක ලියනගම : ‘ලෝකය එකම යායක්’

Leave A Reply

Your email address will not be published.

5 + 6 =