“නන්දිකඩාල් කලපුවෙන් වීරයෙක් ගෙදර ඇවිත්”

හඳගමයන්ගේ “ඉනි අවන්” චිත්‍රපටය නරඹන්නට තෝරා ගන්නේම කාලාන්තරයක සිට නැරඹීමේ ආසාවෙන් පසුව ය. හඳගමගේ යුධ සිනමාව තුළ පශ්චාත් නන්දිකඩාල් සිනමාවට ‘ ඉනියවන් ” දමිළ භාෂිත චිත්‍රපටය ප්‍රවර්ගගත කරන්නේ හිනිදුම සුනිල් සෙනෙවි ඇදුරැතුමන් ය. ජනවාර්ගික යුද්ධයෙන් පීඩාවට පත් දමිළ ජනතාවගේ පැතිකඩක් “ඉනියවන්” හරහා දිග හරියි. තවමත් යුද්ධය නිමාවට පත්ව නැත. ජනවාර්ගික අරගලයෙන් දකුණේ සිංහලයාට සේම, උතුරේ දෙමළාට ද ජීවිත දස දහස් ගණනින අහිමි වී ගියේ ය. “ඉනියවන්” තුළින් පුර්ව යුධ තත්ත්වය කිසිවිටකත් නිරාවරණය නොකරයි. යුද්ධය කියන දේ කොහොමටත් කුරිරුවුත් දුක්ඛිතවුත්, කම්පනය දනවනවුත් තත්වයක් නිරායාසයෙන්ම නිර්මාණය කරන්නක්. එහි වීරත්වයක් නැහැ. එහි ශ්‍රේෂ්ඨ භාවයක් නැහැ. මේ සියලු දේ තියෙන්නේ යුද්ධයේ ප්‍රේක්ෂකයන්ට විතරයි. යුද්ධය කිසිම අවස්ථාවක මානුෂික නැහැ. අනෙක් අතට මානුෂවාදී යුද්ධයකට අතපොවන්නට කිසිවකුටත් බැහැ. කොටින්ම මනුස්ස ගති ගුණ ඒ වෙලාවට එලියට අයින් නොකර යුද්ධ කරන්න බැහැ.

යුද්ධයෙන් අඳුරු වී ගිය පරාජිත විමුක්ති කොටි සාමාජික තරැණයකුගේ ජීවිතයෙන් පෙත්තක් කපා පෙන්නන්නට “ඉනියවන්” අධ්‍යක්ෂක හඳගම යුහුසුළු වෙයි. අපේ රටේ තිස්‌ වසරක යුද්ධය හමාර වී ඇත. ද්‍රවිඩ ජනතාව සමඟ සංහිඳියාවක්‌ ඇතිකරගත යුතු කාලය දැන් එළඹ ඇත. ඒ සඳහා අපි එකිනෙකා අප ගැන ඇතිකරගෙන තිබෙන ප්‍රතිරූපය වෙනස්‌ කරගත යුතුයි. යුද්ධය නැති අවකාශය තුළදී සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වෙනසකට ලක්‌විය යුතුය. එහෙත් ඒ වෙනසට පවතින සමාජයේ ඉඩක්‌ ඇද්ද යන්න ගැටලුවකි. “ඉනියවන්” කතා කරන්නේ ඒ ගැනය. මේ තරැණයා සමාජයෙන් යදින්නේ යහපත් ජීවිතයකි. ඒ අහිංසක යැදීම, විලාපය සමාජයට නොඇසෙයි. ඔහු සමාජයේ ධනවාදී කාක්කන්ගේ සුවච කීකරු වහලෙකු බවට පත්වෙයි. අපායෙන් මිදී පාරාදීසයකට බට මේ තරුණයාට නැවතත් පා තබන්නට සිදුවන්නේ සිහින පාරාදීසයක් බඳු අපායකට ය. හඳගම මේ ජීවන යථාර්ථය සෙලියුලයිඩි පටයකට ප්‍රතිබිම්බනය කරන්නේ අපුරුවට ය. හඳගම විසින් චරිතවල ඇති අභ්‍යන්තර ගැටුම සහ බාහිර ගැටුම තිරරචනය තුළ ශුර අන්දමට සංවර්ධන කර ඇත.

“ඉනියවන්” හි පරාජිත විමුක්ති කොටි සාමාජික තරැණයකුගේ ගම්මානයට සිදුවන ආගන්තුක ආගමනය මට සිහි කැඳවන්නේ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ යුද්ධයෙන් දෙනෙත් අඳ චාමර නම් සෙබළා ය. ඔහු යුද්ධයෙන් ජයගෙන තම දෑස අන්ධව යළි ගමට පැමිණේ. ඔහුට ආදරයෙන් ගම්මුන් සළකති. ඔහු වීරයකු බවට ගම්මුන් ඔසවා තබති. නමුත් “ඉනියවන්” හි කොටි සෙබළාගේ ආගමණය ගම්මුන්ට නයාට අඳුකොළ මෙනි. නමුත් මේ චරිත දෙකෙහි මට වෙනසක් පෙනෙන්නට නොමැත. “ඉනියවන්” හි කොට් සෙබළාත්, “වීරයා ගෙදර ඇවිත්” ටෙලිනාටකයේ ” චාමර” නම් අන්ධ යුධ හමුදා සෙබළාත් වීරයන් නොවෙති. චාමර සහ කොටි යුධ සෙබළාත් වීරයන් වී පැමිණිය ද සමාජය විසින්ම එම වීරයන් මරා දමන්නේ ගෝත්‍රවාදයේ සැබෑ ගති ලක්ෂණ පෙන්වමිනි. දෙනෙත් අඳ යුධ සෙබළ චාමර වීරයකු සේ පිළිගන්නා සේම, ඉනියවන් හි තරැණ කොටි සෙබළා ගමිමුන් විසින් ඔහු දුෂ්ටයකු සේ හංවඩුගසන්නේ කුමන අර්ථයකින් දෝ නොතේරෙයි. එහි ඇත්තේ අර්ථ විරහිත වු මුග්ධ සිතිවිල්ලකි.

තිස් වසරක පැවති මෙරට ජනවාර්ගික ගැටුම නිමවුවත් තවමත් සිංහලයාාට දෙමළා තේරුම් ගැනීමේ හැකියාවක් නැත. සිංහලයා සිතන්නේ දෙමළුන් තමන්ගේ වටිනා දෙයක් අත්පත් කර ගැනීමට මාන බලම්න් සිටින බවයි. සිංහලයන් සිතන්නේ මෙය අතීතයේ සිටම බෞද්ධ-සිංහල රාජ්‍යයක් වු බවත්, ලංකාවේ තනි අයිතිය සිංහලයන් සතු බවයි ඔවුන්ගේ අදහස.එය සිංහලාගේ අවිඥනයේ සේම විඥානය තුළ පැළ කරන ලද්දේ දේශපාලඥයන් විසිනි. ජර්මානුවන් යුදෙව්වන් පිළිබඳව සිතුවේ මේ ආකාරයටයි. නමුත් ඉතිහාසය සැබෑ හෝ වේවා නොවේවා, මේ දෙස මානුෂිය පැත්තකින් බැලුවහොත් දමිළ,මුස්ලිම් ජනවර්ගයන්ට මේ භුමිය තුළ වාසය කිරීමේ අයිතියක් ඇත. ඒ නිසා තවදුරටත් සිංහලයා සහ දෙමළාගේ ප්‍රශ්නය සබුද්ධිකව සිතන්නට මේ ජන දෙවර්ගයට නොහැකි වී ඇත.සිංහලයා සිතන්නේ තමන්ගේ භුමිය සින්නකරව ලියවා ගන්නට දෙමළා දත කන බවයි. දෙමළා සිතන්නේ අපිව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බැවින් සිංහල ජාතිය⁣ගෙන් වෙන්ව විප්‍රවාසීව විසීම ඇඟට ගුණ බවයි. සිංහලයා සහ දෙමළා මේ ජන දෙවර්ගය යමින් සිටින්නෙ කතරගමට වුවත්, මොවුන් දෙදෙනාම කතරගම නොගොස් අතරමඟ පාරවල් දෙකක අතරමං කුළල් කා ගනිමින් සිටිති. සිනමාප⁣ටයේ අවසන් දර්ශනය වන අතර මග නැවතුණ යතුරුපැදිය යළි පණගන්වන්නට උත්සාහ දරන ඔවුන් අසලින් යමින් සිටින සිංහලයා අසන ‘මල්ලි සපොර්ට් එකක් ඔිනද? යන අවංක ප්‍රශ්නය අප තරයේ මතක තබා ගත යුතු ය. “ඉනියවන්” සිනමාටය මේ ආකාරයෙන් දෘෂ්ටිවාදී ප්‍රවෙිශයකට අපට බල කරයි.

වීරයකුට වුවද තමන් ලද වික්‍රමයේ නියම සතුට දැනෙන්නේ තමන්ගේ ගෙදරට ආ විට ය. මෙලෙසින් බොහෝ වීරයෝ ගෙදර ආහ. එහෙත් සමහර වීරයෝ ගෙදරට ආවෙ පෙට්ටියෙනි. එසේත් නැතිනම් අත, පය හෝ දෑස් නොමැතිව ය. සමහර වීරයන්ට, ගෙදරට පෙට්ටියෙන් හෝ ඒමට වාසනාව නැතිවිය. එහෙත් ඔවුන් සැමගේම හදවත් තුළ සැමදාම වීරයන් ලෙස ජීවත් වූහ. එහෙත් සමහර වීරයෝ නම් ගෙදර ඒමටත් පෙර බලු වූහ. වීරයා කියන නමටත් නිඟා දුන් ඔවුන් කෙරෙහි ජනතාවගේ හදවත් වල වූයේ පිළිකුලකි. එ් දකුණේ සිංහල යුද සෙබළාගේ තත්ත්වයයි. එහෙත් අප උතුරේ දමිළ විමුක්තිකාමීන්ගේ තත්ත්වය කෙසේ ද යන්න නොදනිමු.

වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ චාමර මෙන් “ඉනියවන්” චිත්‍රපටයේ නම් වීරයකු නැත. දුෂ්ටයකු ද නැත. ඇත්තේ හුදු මනුෂ්‍යකු පමණකි. සමාජය විසින් හංවඩු ගසන ලද දුෂ්ටයා වීරයකුට බවට පත්කරන්නට හඳගම ප්‍රතිබිම්බන සිනමාව සමත්ව ඇත. ඒ දුෂ්ටයාගේ කතාන්දරය නම් සර්වකාලීන ය. මේ ඔබ ඉනියවන් තුළින් සම්මුඛවන්නේ නන්දිකඩාල් කලපුවෙන් ඔබ්බට හමුවන දමිළයාගේ සැබෑ අර්බුදයයි. සිංහල අප තවමත් ඔවුන්ගේ ජීවන අරගලය බරසාරව තේරුම් ගෙන ඇත්ද? එවන් පසුබිමක් තුළ මින් පසු කුමක් සිදුවේද? ඉනිඅවන් අවසන් දර්ශනයේදී අහස ට කැමරාව සිරස්කරණය කරන්නේ අප සිටින අවිනිශ්චිතතාව තුළ ය. “ඉනියවන්” යනු සොඳුරු මිනිසාය යන අරුත දේ. නොපමාව නරඹන්න “ඉනියවන්”. සර්වකාලීන, කාලෝචිත සිනමාකෘතියකි. සොඳුරු මිනිසෙකුගේ අප්‍රකට කතන්දරකි.

-මලින්ත විතානගේ

Leave A Reply

Your email address will not be published.

18 − 9 =