මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයයි !

අත්අඩංගුවේ සිටියදී තරුණයකු ඝාතනය වීම සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීහු මඩකලපුව පොලිසියට චෝදනා කරති.
ඊයේ (02) මඩකලපුව, ඉරුදයපුරම්හිදී 22 හැවිරිදි චන්ද්‍රන් විදූෂන් නම් මේ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් තම පුත්‍රයාට පහර දුන් බව ඔහුගේ මව මාධ්‍ය වෙත පවසා තිබේ.
අද (03) පස්වරුවේ මඩකලපුව ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.ඉලංගෝවන් විසින් මේ මරණයට අදාළ මරණ පරීක්ෂණය පවත්වන ලදි. එම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඔහු අයිස් නමැති මත්ද්‍රව්‍ය (Meth Amphetamine) පැකට් හතරක් භාවිත කර ඇති බවත්, එය මරණයට හේතුවී ඇති බවත් ය.
මේ තරුණයා අදාළ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අයෙකු බවත්, ඔහු එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාවට මීට පෙර ද අත්අඩංගුවට ගත් අයෙකු බවත් මඩකලපුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් තරුණයාගේ සහෝදරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිය සහෝදරයා පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යෑම පිළිබඳ බරපතළ සැකයක් ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

one + nineteen =