“ලංකාවේ සංචරණ සීමා කියන්නේ ඇඳිරි නීතියට කියන තවත් නමක්”

සංචරණ සීමා ජූනි 14 වෙනකල් දික් කරලා. වෙන රටවල සංචරණ සීමා වගේ නෙවෙයි. ලංකාවේ සංචරණ සීමා කියන්නේ ඇඳිරි නීතියට කියන තවත් නමක්.
කොවිඩ් අර්බුධය ලංකාවට ආවේ තනිවම නෙවෙයි. විශාල ආර්ථික අර්බුධයකුත් එක්ක. ඒ හින්දා වෙනත් අවස්ථාවල වසංගතයක් පාලනය කරනවා වගේ කෝවිඩ් නැත්තටම නැති වෙනකල් ‘රට වහලා තියෙනවා’ වගේ තීරණගන්න පුළුවන්කමක් නැහැ. මේක මාරාන්තික ගේමක්.
ලංකාව වගේ රටක කොවිඩ් මර්ධනය නවසීලන්තය හෝ ජර්මනිය වගේ රටක කොවිඩ් මර්ධනය වගේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ රටවලට පුළුවන් රට වහලා අවුරුද්දක් දෙකක් හරි ගෙවල් වලට වෙලා සිටින ඒ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න. දැනටමත් නය බරින් මිරිකිලා ඉන්න අපිට එහෙම ශක්තියක් නැහැ. බංග්ලාදේශයෙනුත් නය ගන්න වෙන තරමට ගරා වැටිලා. ඒ අස්සේ අහක යන නැව් ගිලෙන්නෙත් මෙහෙට ඇවිත්.
දැනටමත් පන අදින ආර්ථිකය පවත්වා ගැනීමත් වැක්සීනයක් ජනගහනයේ ප්‍රමාණවත් තරමකට ලබා දෙන තෙක් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමත් කියන්නේ මේ මොහොතේ බලයේ ඉන්නා ඕනෑම රජයක් මුහුණ දෙන උභතොකොටිකයක්. එය පරිස්සමින් ඉත්තන් චලනය කර, උපායමාර්ගිකව කලයුතු ක්‍රීඩාවක්.
ආණ්ඩුව මුළු ශක්තිය යොදා කල යුත්තේ හැකි ඉක්මනින් සියයට සියයක එන්නත් ඉලක්කයක් හඹා යාමයි. ප්‍රමාණවත් තරම් ප්‍රතිශතයක් එන්නත් කර රෝගය පාලනය කල හැකි වනුයේ එවිටයි. ( අඩු තරමින් සියයට 70 ක් වත් ).
එන්නත ලබා දීමේදී ආර්ථිකයේ මේ මොහොතේ වඩාත් වැදගත් අංශ වලට ප්‍රමුඛතාව දීම වැදගත්. සෞඛ්‍ය සේවා සහ අපනයන මූලික කර්මාන්ත අංශ වල සේවය කරන අයට වයස් බේදයකින් තොරව එන්නත ලබා දීම වහා කල යුතුයි.
මේ මොහොතේ රටට විදේශ විනිමය ගෙනෙන ආර්ථික අංශ අඩපන වීමට හැරීම බුද්ධි ගෝචර නොවෙයි. ඖෂධ, ඉන්ධන, සමහරක් අත්‍යවශ්‍ය උපකරණ සහ සමහර ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විදේශ විනිමය අවශ්‍යයි. බංග්ලා දේශය සතුව ප්‍රමාණවත් තරම් විදේශ මුදල් සංචිත තියෙනවා. අපිට නය දෙන්නෙත් ඒ සංචිත වලින්.
දියුණු රටවල කොවිඩ් මර්ධනය සාර්ථක වෙනකොට, අවුරුදු දෙකක් විතර ගෙදරටම හිරවෙලා හිටි අය ඝර්මකලාපීය රටක නිවාඩුවක් ගත කරන්න කැමති වෙන්න පුළුවන්. ඒ හින්දා කොවිඩ් කියලා සංචාරක ව්‍යාපාරය ගැන නොහිතා ඉන්න බැහැ.
ඉන්දියාව වගේ නෙවෙයි. ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවයක් තියෙනවා. දැනුවත් දක්ෂ වෛද්‍ය වරුන් ඉන්නවා. මිනිස්සුන්ට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය දැනුමකුත් තියෙනවා. ඒ නිසා ලංකාවේ වසංගතය පාලනය කිරීම හිතන තරම් අමාරු නැහැ. අවශ්‍ය වන්නේ සුදුස්සන් ට සුදුසු කටයුතු බාර දීමයි. බල්ලා ගේ වැඩේ බූරුවාට බාර දී වැඩේ කෙරෙනකල් බලා ඉඳීම නෙවෙයි. ආර්ථික පෙරමුණත්, සෞඛ්‍ය පෙරමුණත් ගොනයි මීමයි වගේ දෙපැත්තට අදින්නේ නැතුව එක අරමුණක පිහිටා කටයුතු කල යුතුයි.
දැන් රට වහලා. සංචරණ සීමා පනවලා. කොයි තරම් කාලයකට ද? මැයි මාසේ 21 වෙනිදා සිට මේ වෙනතෙක් සංචරණ සීමා නමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් කොවිඩ් පාලනයක් සිදු වුනාද? මෙසේ වසා තබන්නේ කුමන ඉලක්කයක් ලඟා කරගන්නා තෙක් ද? යන්න ගැන ජනතාව දැනුවත් කල යුතුයි. ( මේ සීමා දැමීම නිසා තම ජීවනෝපාය අහිමි වන, දෛනික ආදායමින් ජීවත් වූ අයගේ සුබ සාධනය සලසන්න වෙනම වැඩ පිළිවෙලක් ද තිබිය යුතුයි. )
මැච් එකක් පරදින්නේ නැතිව ඉන්න ආරක්‍ෂිත උපාය මාර්ගම හරි යන්නේ නැහැ. සමහර වෙලාවල ප්‍රහාරාත්මක වෙන්නත් ඕන. එහෙම වුණාම ඇතැම් විටක පරදින්න ගිය මැච් එක දිනන්නත් බැරි නැහැ.
-අශෝක හඳගම (fb)

Leave A Reply

Your email address will not be published.

three + 10 =