“ආදරය කියන්නේ විවාහය නෙවෙයි – විවාහය කියන්නේ ආදරය පමණක් නෙවෙයි”

සීමා මායිම් නැතිව, සම්බන්ධතාවල නම් ගම් හොයන්නේ නැතුව මිනිස්සු නිදහසේ ආදරය කරන්න ගියොත් විවාහ ජීවිත කැඩිලා විසිරිලා ගිහින් පවුල් සංස්ථා බිඳ වැටෙන්න පුළුවන් නේද කියන ප්‍රශ්නය හුඟ දෙනෙකුට තියනවා. ඒක සාධාරණ ප්‍රශ්නයක්.
මට ඒකට දෙන්න තියන උත්තරය “ඔව් සහ නැහැ” කියන එක.
මේ උත්තරයේ “ඔව්” කියන කොටස හුඟක් අයට කොහොමටත් පැහැදිලියි. විවාහය වගේ බාහිරින් නිර්මාණය කරපු රාමු ගැන නොහිතා සමහර මිනිස්සු ආදරය කරනකොට විවාහයන්ට පිටින් සම්බන්ධතා හැදෙන්න පුළුවන්. ඒ නිසා ම පවුල් ජීවිත කැඩිලා ගිහින් විවාහයන් දික්කසාදවලින් කෙළවර වෙන්න පුළුවන්. ඒ තුළ දූ දරුවන් අසරණ වෙන්න පුළුවන්. මේවා ලෝකයේ හැමදාම සිදුවුණු, හෙටත් සිදුවෙන දේවල්.
හැබැයි මේ ප්‍රශ්නයේ හුඟ දෙනෙක් එළිපිට කතා නොකරන තව පැත්තක් තියනවා. මිනිසුන් විවාහයෙන් පිටස්තරව පවත්වන සම්බන්ධතා නිසා කැඩිලා යන පවුල් වගේ ම ආරක්ෂා වෙන පවුල් ජීවිතත් සෑහෙන්න තියනවා.
ලංකාවේ නාගරික සමාජයේ වැඩිපුර තියෙන්නේ විවාහයෙන් පිටස්තර සම්බන්ධතා නිසා කැඩිලා යන පවුල් ද, ආරක්ෂා වෙන පවුල් ද කියලා හොයන්න කවුරුත් තාම සංගණනයක් කරලා නැහැ.

ඒක එහෙම වෙන්නේ කොහොමද?

හුඟක් වෙලාවට පිරිමියෙකු සහ ගැහැණියක දිග කාලයක් එකට ජීවත් වීම තුළ ගොඩනැගෙන පීඩනය, ආතතිය, නොරිස්සුම සහ ඒකාකාරී බව හුඟ දෙනෙක් පිටකරන්නේ විවාහයෙන් එළියේ පවත්වන විවිධාකාර සම්බන්ධතා ඇතුළේ.
විවාහයෙන් එළියේ පවත්වන සම්බන්ධතාවලින් ඔවුන් කිසියම් තාවකාලික සතුටක් භුක්ති විඳලා ඔවුන් අර පැරණි, නීරස, ඒකාකාරී සම්බන්ධතාවලට ආපහු ගිහින් ඒවා දිගු කාලයක් නඩත්තු කරගෙන යනවා. දරුවන් ගැන, වගකීම් ගැන, සමාජය ගැන හිතලා පවුල් ජීවිත කොහොමහරි සමබර කරගෙන යනවා. ඒ තුළ විවාහයන් ආරක්ෂා වෙනවා. ගෙවල් දොරවල් හැදෙනවා. ළමයි උස්මහත් වෙනවා.
යම් හෙයකින් ඔවුන් විවාහයෙන් පිටස්තර සම්බන්ධතා පවත්වාගෙන ගියේ නැත්නම් මේ ආතතිය සහ ඒකාකාරී බව විවාහ ජීවිත ඇතුළේ ම පුපුරා ගිහින් ලොකු වියවුලක් ඇතිවීමේ ඉඩකඩක් තියනවා.
ඒ නිසා මේ කිසිම දෙයක් ගැන විනිශ්චයන් දෙන්න, හොඳ නරක විග්‍රහ කරන්න, කළු-සුදු කන්නාඩිවලින් මේ දිහා බලන්න කාටවත් අයිතියක් නැහැ. මිනිස්සුන් ගේ තෝරාගැනීම් සාපේක්ෂයි.
ඒත් මෙතැන තියන වඩාත් වැදගත් ප්‍රශ්නය තමයි ඉතා ම තදින් ආදරය කරලා විවාහ වෙන දෙන්නෙකුගේ සම්බන්ධතාව අවුරුදු දෙක තුනක් යනකොට නීරස සහ කටුක වෙන්නේ කොහොමද කියන එක. ඇත්තට ම උත්තර හොයන්න ඕනෙ ප්‍රශ්නය තියෙන්නේ එතැනයි.
ආදරය කියන්නේ හැඟීමක්. විවාහය කියන්නේ සම්බන්ධතාවක්. හැඟීම් මත පමණක් පදනම් වෙලා සම්බන්ධතා දිගු කාලයක් පවත්වා ගෙන යන්න බැහැ. සම්බන්ධතා පවතින්නේ අවශ්‍යතා උඩ. මේ අවශ්‍යතා ශාරීරික, මානසික, ආර්ථික, සමාජ හෝ සංස්කෘතික අවශ්‍යතා වෙන්න පුළුවන්. මේ අවශ්‍යතා නැති තැන සම්බන්ධතා පවතින්නේ නැහැ.
අවශ්‍යතාවල එක ම ස්වභාවය තමයි ඒවා කාලයත් එක්ක වෙනස් වෙන එක. ඒක වළක්වන්න බැහැ. වළක්වන්න අවශ්‍යත් නැහැ. විවාහයක් ඇතුළේ ඉන්න දෙන්නෙකුගේ අවශ්‍යතා වෙනස් වෙන්නේ දෙවිදියකට. රටාවන් දෙකකට. වේගයන් දෙකකට. ඒක එහෙම විය යුතුයි.
ඒත් පිරිමියෙකු සහ ගැහැනියක එකට ජීවත් වන විට ඔවුන් සිතනවා අනෙකාගේ අවශ්‍යතා වෙනස් වෙන විදිය, වෙනස්වන රටාව තමන්ට ඕනෙ විදියට සිදුවිය යුතුයි කියලා. එහෙමත් නැත්නම් අනෙකාගේ අවශ්‍යතාවල වෙනස්වීම් තමන්ට පාලනය කළ හැකි විය යුතුයි කියලා. මේ නිසා ම එළිපිට සහ ඇතුළතින් ගැටුම් ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ ගැටුම්වලට මැදිවෙන දෙදෙනා ම පරාජිතයන්. මේ ගැටුම් නිසා උපදින ආතතිය සහ පසුතැවීම ඔවුන් විවාහ ජීවිතවලින් එළියේ මුදාහරිනවා.
නිදහසේ සහ සීමා මායිම්වලින් තොරව ආදරය කරන්න පුරුදු වුණු මිනිස්සු මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
ඔවුන් ආදරයට ආදරය විදියට පවතින්න දෙනවා. ආදරය මිහිරි හැඟීමක් බව තේරුම් ගන්නවා. හැඟීම් මත පමණක් පදනම් වෙලා දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීම තේරුමක් නැති වැඩක් කියලා ඔවුන් දන්නවා.
හැඟීම්වලින් ඔබ්බට ගිහින් අවශ්‍යතා මත පදනම් වෙලා විවාහ වෙන තැනකදි වුණත් ඔවුන් අනෙකාගේ අවශ්‍යතා වෙනස් වෙන විදිය, වෙනස් වෙන වේගය පාලනය කරන්නට යන්නේ නැහැ. කොටින් ම ජීවිතය ‘පාලනය කිරීමේ’ උමතුව ඔවුන්ට නැහැ. ඔවුන් අවශ්‍යතාවලට වෙනස් වෙන්න ඉඩ දෙනවා. කාලයත් සමග සම්බන්ධතාවලට පරිණාමය වෙන්න ඉඩ දෙනවා. මේ පරිණාමයත් එක්ක ඔවුන් ගනුදෙනු කරන්න දන්න නිසා විවාහ ජීවිත ඇතුළේ ආතතිය හෝ ඒකාකාරී බව ගොඩනැගෙන්නේ නැහැ.
ඒ නිසා ම විවාහ ජීවිත ඇතුළත පවා නිදහසේ ආදරය කරන්න ඔවුන්ට පුළුවන්.
ඔවුන්ට ආදරය කියන්නේ විවාහය නෙවෙයි – විවාහය කියන්නේ ආදරය පමණක් නෙවෙයි.
ගොවියෙක් වැටකොටු ගහලා කුඹුරක් වල් අලින්ගෙන් රකිනවා වගේ ඔවුන් සම්බන්ධතා රකින්න යන්නේ නැහැ.
ඒ නොරැකීම තුළ ම සම්බන්ධතා ආරක්ෂා වෙනවා – සම්බන්ධතා පරිණාමය වෙනවා – සම්බන්ධතා පවතිනවා.

– රසික ජයකොඩි (fb)

රසික ජයකොඩි විසින් මුහුණු පොතට ලියන ලද මෙම ලිපියට එක්කළ අදහස් අතර කිහිපයක් පහතින් සටහන් වේ
බොහෝ දෙනෙක් එළිපිට කතා නොකරන ජීවන සත්‍යය.
රසික ගේ මේ ලිවිල්ලට මං ආසා කරන්නේ රිවිර පත්තරේ තීරු ලිපියේ සිට. පලක් නැති දේශපාලන සංවාද පැත්තකට දාලා මේ ලිවිල්ල දිගටම කරපං රසික.
කපිල එම්. ගමගේ

මේ ලිපිය කියවන බොරු සදාචාරවාදි සුධීමතෙකුට හිතෙන්න පුළුවන් , අපේ නිර්මල සංස්කෘතිය කන්න ආපු යකෙක් මූ කියල, ඇත්තටම එහෙම නැහැ, මේ ලිපිය පුරාවටම තියෙන්නේ මිනිසුන් තමන්ගේ ලෞකික Secular ජීවිතය සතුටින් ගත කරන්නේ කොහොමද කියන කාරණාව ගැන පැහැදිලි කිරීමක්. ඔය මුනිවර, බොරු දහම් වෙස් අරගෙන අපේ ඇත්ත ජීවිතයට කිසිම සම්බන්ධයක් නැති ස්වර්ගය, නිවන වගේ බොරු ලණු කාල ජීවිතය විදෝනවට වඩා හොදයි , අපගේ ඇත්ත ජීවිතය තුල, ජීවිතේ තේරුම් අරගෙන මැරෙන තුරු සතුටින් ජීවත් වන එක.
-සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

18 − seventeen =