“අර්නස්ටෝ චේ ගුවේරා නම් විප්ලවීය මිනිසා තුළ වූ සොඳුරු කවියා”

අර්නස්ටෝ චේ ගුවේරා
නම් විප්ලවීය මිනිසා තුළ වූ
සොඳුරු කවියා

මගේ දැක්ම

නිම්නාද දෙන්නට මගේ කටහඩ
කැපවී ඇත්තම් තවත් හඩක්
අල්ලා ගන්නට මගේ අසිපත
එසවී ඇත්නම් තවත් අතක්
එසේ වී නම්
කම් නැත, මියැදුණාට මා
කවදා හෝ කොතැනකදී හෝ
මේ මිහිමඬලේ …!!

උපුටා ගැනීම — Collected Speeches and Letters by Ernesto Che Guevara – 1982
USA .
මානව විප්ලවවාදියකුගේ දිවිපවත —
“ගෙවීගිය විසිවැනි සියවසේ දිවිගෙවූ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියකු වූ අර්නස්ටෝ චේ ගුවේරා තම අවසාන විමුක්ති අරගලය බොල්වියානු විප්ලවය වෙනුවෙන් කැප කළේය. තම ජීවිතයට මෙන්ම මරණයටද එකසේ වික්‍රමාන්විත අයුරින් මුහුණු දුන් ඔහු වර්තමානය වනවිට ලොව සුවහසක් මිනිස්සුන්ගේ සිත් සතන් තුළ සදාතනික වීරයකු ලෙස ලැගුම් ගෙන සිටියි.
කෙටියෙන් කිවහොත් ජීවත් වූ චේට වඩා මරණයෙන් ඉක්බිතිව මතුවූ චේ
ශ්‍රේෂ්ඨ විය. මහා පුරාවෘත්තයක් විය.

චේ නම් ඔහු —-
වෘත්තියෙන් වෛද්‍යවරයකු, ගරිල්ලා නායකයකු , ශ්‍රේෂ්ඨ විප්ලවාදියකු ,
ග්‍රන්ථකතුවරයෙකු වූ මානව හිතවාදී අර්නස්ටෝ චේ ගුවේරා ( Ernesto Che Guevara 1928 – 1967 ) ලොව දසත
විසිරී සිටින පීඩිත කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා දුටු සිහින දෙකක් විය. ඉන් පළමුවැන්න නම්,සන්නද්ධ අරගලයකින් මුලින්ම ලතින් ඇමෙරිකානු රටවල්ද ඉන් ඉක්බිතිව සංවර්ධනය වන තෙවැනි ලෝකයේ රටවල්ද සංවර්ධනය කිරීමයි. දෙවැන්න නම්, ධනවාදය කරපින්නා ගත් ධනේශ්වර රටවල් විසින් දශක ගණනාවක් පුරා තෙවැනි ලෝකයේ රටවල් සූරාකමින් කරන්නා වූ අන්ත තුච්ච ක්‍රමවේදයට තිත තබා එකී රටවල්වල දිවිගෙවන්නා වූ කම්කරු ජනතාවගේ අන්තදුගීභාවය,අයුක්තිය හා වර්ගභේදවාදය මුලිනුපුටා දමා යුක්තිය හා සාධාරණත්වය රජයන සමාජයක් ඇති කිරීමයි.
මෙම සිහින දෙක මෙම ධරණීය තලය මත යථාර්තයක් බවට පත් කරනු පිණිස
තම ජීවිතය කැප කළ චේ එය ප්‍රායෝගික තලයට රැගෙන ඒම පිණිස කරන ලද බොල්වියානු අරගලයේදී දිවි පිදුවේය. එලෙස දිවි පිදුවේ තම මරණය හා ජීවිතය තුළින් තම සමකාලීනයන්ටද තම දර්ශනය පෙරටු කොටගත් අනාගත මානව හිතවාදීන් ද එසේම සර්ව සුබවාදී මානව සමාජයක් අපේක්ෂා කරන ලෝදනන්ටද නිසිකළ නිසිමග පෙන්වන සදාතනික නියමුවකු ලෙසිනි. සදාතනික මානවහිතවාදියකු ලෙසිනි. එබැවින් හෙතෙම සදාකාලීක අමරණීය වන්නේ ය.

ඔවුහු මෙසේ කියති —-

“අපේ කාලයේ සිටි පරිපූර්ණ මිනිසා
ඔහු ය”
– ජීන් පෝල් ශාස්ත්‍රේ-

“චේ වූ කලී මා මෙතෙක් දැන සිටි ආත්මාර්ථ විරහිතභාවයෙන් අගතැම්පත් ,අති සුවිශේෂී සේම උතුම්
මිනිසුන් කීපදෙනාගෙන් කෙනෙකි”.
– ෆිදෙල් කැස්ත්‍රෝ –

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි (fb)

Leave A Reply

Your email address will not be published.

2 × three =