හඳුනා ගත්තොත් ඔබ මා…

තවමත් අපේ බොහෝ ශ්‍රී ලාංකික සාමාන්‍ය මිනිසුන්, අපේ නෑදෑයන් හිත මිතුරන් අලුතින් කෙනෙක්ව කසාද බදින්න යනකොට, විශේෂයෙන් වැඩි කාලයක් ඇසුරු කරල නැති කොට හෝ යෝජනාවලින් බඳිනකොට අනිත් අයගෙන් අහලා බලනවා බඳින්න යන කෙනා ගැන තොරතුරු හොඳ කෙනෙක් ද කියලා. ඊයෙත් මට පණිවිඩයක් ආවා ඔය පැත්තේ ඉන්න මෙන්න මෙයා ගැන පොඩ්ඩක් හොයලා කියන්ඩ අපේ එක්කෙනෙක් බඳින්න යනවා කියලා. මොනවද මේ හොයන්ඩයි කියන්නේ ආදරේට සම්බන්ධ දේවල් ද?

ඉස්සර තිබුණා ගම්වල සම්ප්‍රදායක් කපුවා ඇවිල්ල වැඩේ සෙට් කළාට පස්සෙ පවුල් දෙකේ කට්ටිය හොරෙන් ගිහිල්ලා ගම් වලට එක එක මිනිස්සුන්ගෙන් අහනව කෙනා කොහොමද කියලා. සමහරවිට මේ පසුබිම නිසා වෙන්නැති තාමත් මේක ‘සංස්කෘතික පුරුද්දක්’ විදිහට ඇවිල්ල තියෙන්නේ. මේ ක්‍රමයට අනුව තමන්ට ගැලපෙනවද නැද්ද කියන එක එක එකා කියන තොරතුරු මතයි රඳා පවතින්නේ. මේ වගේ අයට ආදරේ කරන කොට අනිත් අය,රට්ටු සහ ගමේ අය මොනවද කියන්නේ කියන එක හරියට බලපානවා. ඔවුන් බඳින්න කෙනෙක් තෝරන්නේම අනිත් අය මොනවද කියන්නේ කියන එක කල්පනා කරලා.
සමහරු අවුරුදු ගනනාවක් ආශ්‍රය කරලා (පෙම්වතුන් විදිහට විතරක් නෙමෙයි හිත මිතුරන් විදිහට පවා) තවත් කවුරු හරි කියන දෙයක් තමන්ගෙ අත්දැකීමට වඩා විශ්වාස කරනවා. තමන් අත්දැක්ක දේ අවිශ්වාස අනිත් කෙනා කියන දේ ඊට වඩා විශ්වාස මේ තත්ත්වයනම් යමක් තේරුම් ගැනීම සහ විශ්වාසය කිරීම සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් සහ වටහාගැනීම් ගැන අඩු ආත්මවිශ්වාසය පිළිබඳ එක්තරා පෞරුෂ ප්‍රශ්නයක්. තමන්ට හරියන දේ සමාජයෙන් අහල බලනවා කියන්නේ අතිශය දුර්වල මෙන්ම භයානක තත්ත්වයක්.

නමුත් මෙතනදී අනිත් කෙනා තුළ පරීක්ෂණයට ලක් කරන්න ඔබට උගන්වා ඇත්තේ මොනවාද කියන එක තීරණාත්මක භූමිකාවක් කරනවා. හරයන් සහ විනිශ්චයන්. කසාදය පවුල් දෙකක් හෝ ගම්මාන දෙකක් එකතු වීමක් විදිහට සමාජය ගැන කල්පනා කරලා ගන්න තීරණයක් විදිහට බලනකොට සහකරුවාගේ හෝ සහකාරියගේ බාහිර දේවල් තමයි ගොඩක් දුරට වැදගත් වන්නේ. දහම් පාසලේ උගන්වපු ගමේ කාටත් ගැළපෙන සිරිත් විරිත් ගුණදහම්. වඩා සමාජශීලී වෙනකොට දුසිරිත්යැයිළු කියන ක්‍රියාකාරකම්, කළගුණ, සමාජ සේවා සහ ආගමික ක්‍රියාකාරකම්, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජ තරාතිරම්, නෑදෑයන් සහ ඇසුරු කරන අයගේ පසුබිම් වගේ දේවල්. ඒවා බොහෝවිට මිනිසෙකු සමාජයට තමන්ව හොඳ මිනිහෙක් ලෙස පෙනෙන්නට පහසුවෙන් රගදක්වන්න පුළුවන් දේවල්. බොහෝ විට සමාජයෙන් අහල හොයල බලන්නෙත් ඔය පුවත්පත්වල මංගල දැන්වීම් වල අහල තියෙන්නෙත් මේ වගේ බාහිර දේවල්.

නමුත් දැන් ලන්ඩන්, සිඩ්නි,පැරිස් සහ නිව්යෝර්ක් වගේ සුවිසල් නූතන සංකීර්ණ නගරවලදී හමුවන ‘නාගරික ප්‍රේමය’ බලමු. සමහර වෙලාවට මේ හමුවන අය කොහෙන් එන අයද මොනවද පසුබිම් අතීත කතා මොනවද කියලා කාටවත් හොයාගන්න බැහැ, විශේෂයෙන් එවැනි නාගරික සංස්කෘතීන් වල වැඩුණු අය ආදරවන්තයා ආදරවන්තිය හොයා ගැනීමේදී ගම්වල දී වගේ එක එක්කෙනාගෙන් අහන සම්මත සිරිත් විරිත් ආදී පරීක්ෂණ කරන්නේ නැහැ. කරන්නත් බැහැ. සමහරවිට දෙන්නා එන්නේ ප්‍රතිවිරුද්ධ සංස්කෘතීන් දෙකකින් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔවුන්ගේ මිනිසුන් එක්ක ගනුදෙනු කිරීම සහ තේරුම් ගැනීම ද නූතන ලෝකයක් එක්කළා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිසා පුද්ගලිකත්වයක් ඇති අතීතයට වඩා වර්තමානය සමග ජීවත්වෙන පුද්ගලික රුචි අරුචිකම් සම්බන්ධයෙන් පොදු ගෝත්‍රයකට අවශ්‍යයෙන්ම බැඳිලා නැති සහ එවැනිදේට වගකියන්න බැඳී නැති සංකීර්ණ සමාජ සත්වයෙක් විදිහට. කුල මල සම්ප්‍රදායන් ඉතිහාසයන් රට්ටු කියන කතා වලින් වඩා නිදහස් ප්‍රේමයක් එතනදි හමු වෙනවා.ඔවුන් එකිනෙකාව තේරුම් ගන්නේ ඇසුරු කිරීමෙන්. එතකොට ඔවුන්ට එකිනෙකාව මැනගැනීමට ඉතුරු වෙන්නේ කන බොන මිල මුදල් වගේ දේවල් බෙදාගන්න ආකාරය, සන්නිවේදනය කරන ආකාරය, කියන කරන දේවල්, පොරොන්දු ඉෂ්ට කරන ආකාරය, එකිනෙකාගේ රුචි අරුචිකම් ආදියට ගරුකරන ආකාරය, ඔබ වෙනුවෙන් සවන් දෙන සහ කැප වෙන ආකාරය, සයනේදී මෙන්ම ඉන් පිටතදීත් ඔබගේ සමාගමෙන් කොයිතරම් එන්ටර්ටේන් වෙනවද කියන එක, ලෝකය සමාජය පිළිබඳව අවබෝධය ආදී සම්බන්ධය තුළදීම හමුවන මනුෂ්‍ය සම්බන්ධයකදී ඉතා වැදගත් සහ සංවේදී දේවල්. ඒවා සාමාන්‍යයෙන් තවත් කාගෙන්වත් අහල හොයාගන්න බැරි ඔබම හොයාගත යුතු දේවල්.

නමුත් බොහෝ අය හිතන පරිදි ආදරේ කියන දේ නිසා ඇතිවන හැඟීම් වලින් නම් තව කෙනෙක්ව තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්ඩ අමාරු විතරක් නෙමෙයි තේරුම්ගැනීමට තියන ලොකුම බාධාව ද ‘ආදර හැඟීම්’. ආදර හැඟීම් හරහා අපි තේරුම් ගැනීම කියන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා විශ්වාසය කියන එකට බර වෙනවා. බොහෝ අය පටලවගන්නා පරිදි ආදරය කිරීමත් සම්බන්ධයක් පවත්වාගෙන යාමත් කියන්නේ එකම දේ නෙමේ දෙකක්. ආදරය නිසා සම්බන්ධතාවයක් පටන් ගත්තත්, ආදරය කියන්නේ සම්බන්ධතාවයක් නෙමෙයි එහෙත් සම්බන්ධතාවයක් තුළ ආදරය තියෙන්න පුළුවන්.
නමුත් ඔබ කොයි පාරෙන් ගියත් යෝජනාවකින් හමුවුනත් ප්‍රේමයකින් හමුවුණත් ගමේදී හමුවුනත් නගරයේදී හමුවුනත් පුද්ගලයාව හරියටම තේරුම් ගන්ඩ බැරි අල්ලගන්ඩ බැරි අඳුරු පැති තියන එක සම්පූර්ණයෙන් ජය ගන්න බෑ. ඒක ඒ ඒ පුද්ගලයාගේ ප්‍රශ්නයක් විදිහට වටා ගන්නවාට වඩා මනුෂ්‍ය සන්තානය එනම් මනුෂ්‍ය ස්වභාවයේම ලක්ෂණයක් ලෙස ගැඹුරින් වටහා ගතයුතුයි. ඒ රිස්ක් එකෙන් වෙන හානිය අවම කර ගැනීම සඳහා අපට යෝජනා කරන්න පුළුවන් එකිනෙකාගේ සිතුම් පැතුම් මෙන්ම ජීවිතයේ යථාර්ථයම තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. තේරුම් ගැනීම ගැන කතා කරනකොට කොච්චර තේරුම් ගන්න ඕනෙද කියලා තේරුම් ගැනීම විවාදයට ලක් කරන්න පුළුවන් උනත් තේරුම් ගැනීමේ සුබවාදී උත්සාහයක යෙදී ඉන්නයි කියලා මේ කියන්නේ. කෙසේ හෝ සාර්ථක සම්බන්ධයක් ගෙනියන්න ආදරය කෙසේ වෙතත් තේරුම් ගැනීම තීරණාත්මක භූමිකාවක් කරන බව සම්බන්ධයකදී පසුකාලීනව අපි අත්දකින යථාර්ථයයි.
– ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

four × four =