“යමෙකුට සියල්ලම කළ නොහැකි මුත් සෑම අයෙකුටම යමක් කළ හැකිය”

 - සිල්වියා අර්ල්

ලංකාව ඉතිහාසයේ දරුණුම සාගර ඛේදවාකයකට මුහුණ දි සිටින මොහොතක මෙම වාර්ථා චිත්‍රපටය නරඹන්නට ලැබීමෙන් මම තව තවත් කම්පනයට පත්වීමි. Seaspiracy යනුවෙන් නම්කර ඇති මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ අලි ටබ්රිසි විසිනි. චිත්‍රපටය නිකුත් වූ වහාම එහි සංඛ්‍යා හා දත්ත වැරදි බවට කතිකාවතක් නිර්මාණය වුවද, එහි මතුකරන ප්‍රධාන ප්‍රශ්නය උවමනාවෙන් මඟහැර යන බව පෙනෙයි. එය ලෝකපරිමාණ දැවැන්ත ව්‍යාපාරයකි. ලෝකය පුරා ව්‍යාප්ත දැවැන්ත වෙළඳාමක්, රාජ්‍ය සහ මාෆියා කල්ලි යන දෙකොට්ඨාශයෙන්ම රැකවරණය ලැබෙන මහා පරිමාණ මත්ස්‍ය වෙළඳාමේ සැබෑව සොයා යන මෙම චිත්‍රපටයේ දත්තවල වැරදි තිබෙන්නට පුළුවන. එහෙත් ඔබ මේ චිත්‍රපටය නැරඹිය යුත්තේ ඇයි යන්නට කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරමි.
1. සාගරය දූෂණය වන ප්‍රමුඛ කාරණාවක් ලෙස ප්ලාස්ටික් භාවිතය
a. ලොව පුරා විවිධ මිනිස් ක්‍රියාකාරකම්වලින් සාගරය වෙත එකතු වී ඇති ක්ෂුද්‍ර හා විශාල ප්ලාස්ටික් කොටස් ප්‍රමාණය ට්‍රිලියන 5.25කි.
b. ඒ අනුව සාමාන්‍ය සෑම සාගර වර්ග සතැපුමකටම කොටස් 46,000කි.
c. ඒවායේ බර ටොන් 269,000කි.
d. සෑම දිනකම සාගරයට මිලියන 8ක පමණ ප්ලාස්ටික් අංශු ප්‍රමාණයක් එකතු වන බව ගණන් බලා තිබේ.
e. මේ වන විට පැසිපික් සාගරය ආශ්‍රිතව වර්ග කිලෝමීටර මිලියන 1.6ක
පමණ ප්ලාස්ටික් දූපතක් නිර්මාණය වී තිබේ. (අන්තර්ජාලයෙන් නැරඹිය හැක)
2. සාගරය තුළ කෙරෙන මහා පරිමාණ මත්ස්‍ය කර්මාන්තය නිසා සිදුවන හානිය
a. චිත්‍රපටයේ අධ්‍යක්ෂ අලි ටබ්රිසි හා ඔහුගේ බිරිඳ ලෝකය පුරා විවිධ රටවල සංචාරය කරමින් ඒ ඒ රටවල මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ විස්තර සපයයි. මින් වඩාත්ම දරුණු කාරණය ලෙස ඔවුන් පෙන්වන්නේ ජපානයේ රජයේ අනුග්‍රහය ඇතිව කෙරෙන තල්මස් හා ඩොල්ෆින් දඩයමයි. ජපානයේ ටයිජි හි කෙරෙන මෙම දඩයම ගැන කිසිම වාර්ථාවක් සැපයීම හෝ ලබාගැනීමට ඉඩක් නොමැත. ජපාන රජය, යකුසා කල්ලි පමණක් නොව ධීවරයන් පවා මෙම නගරයට එන අය පිළිබඳව ඇස ගසා සිටී. යම් හෙයකින් අසුවුවහොත් වසර ගණනාවකට සිරගත කිරීමක් හෝ අතුරුදන් වීමක් සිදුවිය හැකි ය. මෙම තල්මස් දඩයමට හේතුව, තල්මසුන් විසින් අධික ලෙස මාළු පරිභෝජනය කරන බැවින් ධීවරයන්ට මාළු හිඟ වන බව පවසමිනි.
මේ ආකාරයටම මෝර දඩයම, ටූනා දඩයම සහ ඩොල්ෆින් දඩයම ගැන නැවත සිතා බැලිය යුතු කාරණා වෙයි. ලෝකය පුරා තල්මස් දඩයම සම්මුතියකින් තහනම් වුවද. එය තවමත් විවිධ තැන්වල හොර රහසේ සිදුවන බව චිත්‍රපටයේ දී පෙන්වා දෙයි. මෙහි ප්‍රධාන ගැටළුව නම් මෝරා මෙන්ම තල්මසා යන දෙදනොගෙන්ම කොරල්පර රැකගැනීමට ලැබෙනෙ දායකත්වය සහ සාගර සමතුලිත තාවයට ඉටුවන මෙහෙය නොසලකා හැරීමයි. එමෙන්ම දැල්වලට අහුවන ඩොල්නේ මත්ස්‍යන්ට ලැබෙන්නේ එවැනිම කටුක වේදනාවකි.
ලොකුම ගැටලුව නම් මේ සියල්ල පරිසරයේ පැවැත්මට, සහ එහි තවත් එක් ජීවියෙක් වන මිනිසාගේ පැවැත්මට උපකාරී වන බව නොසිතන මිනිස් ප්‍රජාවක් බිහිවීමය. සාහිත්‍යයේ පවා පරිසරය සහ මිනිසා අතර සම්බන්ධතාවය එකක් බව පැවසෙන කෘති ලෝකයේ බිහිවන්නට ගත්තේ ඉතා මෑතකදීය. (පෙර පළවූ අතලොස්සක් කෘති තිබේ) අවාසනාවට ලංකාවේ නම් නූතන කෘති පරිහරණය ඉතා අල්පය. සොබාදහම සමඟ යුද්ධ කරන මිනිස් ප්‍රජාවක් බිහිකළ යුග අප පසුකර ඇත්තෙමු. මේ ශිෂ්ඨාචාරය ගොඩනගා ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙනි. එහි ප්‍රථිඵල මේ මොහොතේදීත් අපි භුක්ති විඳිමින් සිටින්නෙමු. ඉතින් තව දුරටත් මෙය ඉදිරියට ගෙන යනවාද යන තීරණය ඔබ සතුය.
“මෙම විශ්වයේ ජීවත් වන්නට තැනක් ඉතිරි කර ගැනීම ගැන බලාපොරොත්තුවක් තබාගන්නට අප තවමත් ප්‍රමාද නැත. අපට ලැබී ඇති දේට ගරු කරන්නටත්, ඉතිරිව ඇති දේ ආරක්ෂා කරගැනීමටත්, එකදු කොටසක් හෝ විනාශ වීම නවතා ගැනීමටත් අප කටයුතු කළ යුතුය. මානව ශිෂ්ඨාචාරයේ වෙනසක් ඇතිකරන සියලු ධනාත්මක සහ සෘණාත්මක දේවල් ආරම්භ වන්නේ එක් “අයෙකු” ගෙන්ය. එක් “අයෙක්”. යමෙකුට සියල්ලම කළ නොහැකි මුත් සෑම අයෙකුටම යමක් කළ හැකිය. සමහර විටෙක විශාල අදහස් විශාල වෙනසක් ඇතිකරයි. එය තමයි අපට කළ යුතු. එය තමයි ඔබ දැන් කළ යුතු. කැඩපත දෙස බලා එය කුමක්දැයි වටහා ගන්න. ඒ සඳහා කටයුතු කරන්න.”
ඒ කුමක්දැයි සිතීමට Seaspiracy නරඹන්න. ඔබ සමඟම ගැටෙන්න.
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

ten − seven =