ජයරුවන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි – නීතිමය පියවර ගැනීමේ සූදානමක් !

මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමයෝජනා කමිටුව කටයුතු කර තිබේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුර සදහා ය.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස නාමයෝජනා කමිටුව සඳහන් කර ඇත්තේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ සාමාජික අංකය නිවැරදිව සටහන් කර නොමැතිවීමයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසන්නේ මේ පිළිබදව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයේ මේ වන විට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කටයුතු කරන අතර, ඔහු වසර ගණනාවක් පුරා නිතරඟයෙන් එම ධූරයට පත්වෙමින් සිටී.

මෙවර නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හා වෙනත් තනතුරු සඳහා තරඟ කරන වෛද්‍යවරුන්ව සමාජ මාධ්‍ය හරහා බියගැන්වීමේ ක්‍රියාවලියක් සිදුවන බවටද එම වෛද්‍යවරු චෝදනා කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය එළැඹෙන 28දා පැවැත්වීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.

eleven − ten =