මීට වසර 40කට පෙර, අද වගේ දවසක (1981 මැයි 31 )

මීට වසර 40කට පෙර, 1981 මැයි 31 වැනි දින අන්ත දක්ෂිණාංශික සිංහල මිලිෂියා කණ්ඩායම් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනයේ හදවත ගිනිබත් කළහ. දැවී ගිය දැනුම් සම්භාරය තුළ කිසිදා නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි අත්පිටපත් සහ පුස්කොළ සටහන් ලක්ෂයක් පමණ විය.
මානව හිමිකම් අධ්‍යයනය කේන්ද්‍රයේ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා යාපනයේ ගොස් සිට අවධියක යාපනයේ පුස්තකාලයට ගොඩවීමට තරම් මම වාසනාවන්ත වුණෙමි. පුස්තකාලයේ ප්‍රධාන දොරටුව අසල වූයේ ඉතා සංයමයෙන් පිළිවෙලට තබා තිබූ පාවහන් යුගල සමූහයකි. පුස්තකාලය තුළ කිසිවෙකුත් පාවහන් පැළඳ සිටියේ නැත. යාපනයේ පුස්තකාලය වෙත යාපනයේ සංස්කෘතිය තුළ හිමිවී තිබුණේ එවන් ස්ථානයකි. කිසිවකු විසින් දළදා මාලිගයට ගිනි තැබුවේ නම් දකුණේ සිංහලයන්ට දැනෙන වේදනාවම එදා යාපනයේ මිනිසුන්ට දැනෙන්නට ඇතැයි මට සිතුනි.
යාපනයේ පුස්තකාලය ගිනිබත් කරන අවධියේ දී යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය එම්. ඒ නුහුමාන් විසින් දමිළ බසින් රචිත, එස්. පද්මනාදන් විසින් ඉංග්‍රීසි බසට පෙරළූ ‘ඝාතනය’ නම් නිසඳැසෙහි සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

– කුසල් කවින්ද අමරසිංහ

‘බුදුන් මරාදැමීම’

පෙර දින රාත්‍රියේ
සිහිනයක් දුටිමි.
නීතියේ රැකවලුන් වූ
පොලීසිය විසින්
බුදුන් වෙඩි තබා නසනු.
රුධිරයෙන් නැහැවුණු
උන්වහන්සේගේ දේහය
යාපනයේ පුස්තකාලයේ
පියගැට මත තිබුණි.
අඳුරට මුවා වී
ඇමතිවරු පැමිණි පසු,
“ලැයිතුවේ නම නැති
මොහු මැරුවේ ඇයි?”
ගුගුලා විමසීය.
“නැත මැතිතුමණි,
එය වැරදීමක් නොවේ.
මොහු මරා නොදමා
මැස්සෙකුටවත් හානියක් කළ නොහැක.
ඒ නිසයි මැරුවේ”
බියගුළු හඩින් ගොත ගැසුණි.
“එහෙනම් මිනිය
හංගාපල්ලා.”
ඇමති නැවතත් හැරුණි.
සිවිල් ඇඳුමෙන් සිටි උන්,
දේහය ඇදගෙන
පොත්ගුලට වැදුණි.
අනූදහසක් පමණ වූ පොත්
දේහය මත ගොඩ ගැසුණි.
සිඟාලෝවාද සූත්‍ර පොතෙන්
පිටුවක් ඉරා
ගිනිතැබීය උන් ග්‍රන්ථ චිතකයට.
අවසානයේ,
මහා කාරුණිකයන්ගේ දේහය
දැවී හළු විය,
ධම්මපදය ද සමඟ.

– එම්. ඒ නුහුමාන්

යාපනය පුස්තකාලය ගිනිතැබූ මහා අපරාධයට වසර 40 යි.
(1981-05-31/2021-05-31)
මහාද්වීයකට ගිනි තැබීම—
අකුරු ඇහිදින ගිනි දුමාරය ගෙන අතින්
වළාකුළු බර වේඳනාවක ගැබ්බර වෙමින්
අදත් නැති මුරුගසන් වැසි ඇයි ද වැළපෙමින්
යාපනේ අහස තන කඩා බිම ගසයි වියරුවෙන්
වියළ තල්පතක පදම් නොකරද තියුණුව
ලියූ ජීවිතේ ගැන ලේ රසැති කදුළු කතාවක
යළි නූපදනා ලෙස ගබ්සා කළ පසුවද
යළිත් පූදන නියගලාවක් වෙමින් දැවුනද
“කෝ?..කෝ?..පරණවිතාන” කියා වික්ෂිප්තව
කඳුළු සලනවා දැක්කමයි කුමාරස්වාමී මුනිවර
“පරණවිතාන හිටියේ සරසවියේ ය” කිව්වම
සතුටට වැස්සා ඇවිලෙමින් සංගම් සාහිත්‍යයම
තල්පතත් පුස්කොලෙත් එකිනෙකට ඇතිල්ලී
අලුත් පොත් උපදවන පින් කමක යෙදෙද්දී
මිනිස් අනුරාගයෙන් විඳිනු බැරි වී හැපෙද්දී
තිරිසනුන් බැදි විසක් විස වි අළු වෙලා වැටෙද්දී
ඉතිහාසයම අළු වෙතැයි සිතා සිටියද අසුරක්
ගිනිතියා වැළලිය නොහැකි මහද්වීපයක්
අළු ඉතුරු වූ තැනින් පිබිඳ ආ ෆීනික්ස් ලෙසින්
අලුත් ඉතිහාසයක් වෙයි ,රුදු සපුන් වළලමින්
මුතු ඇටයක්ය මේ බිම එහි ඔපය දුන් දනන්
හිස සිඳ මරා පොලු පහර දුන්නද ගොරවමින්
නුවන ශිල්පය දැනුම උදුරා ගන්න බැරි බව දිවුරමින්
නැගෙනවාමයි එදා නැගි ගින්නට වැඩි උනුසුමින්
– ගාමිණී ඒකනායක
සිතුවම Pirunthajini Pirabakaran ගේ

facebook පිටු වලින්

 

 

Leave A Reply

Your email address will not be published.

one + eight =