“අදත් යාපනේ පුස්තකාලයට යනවිට අපට දැනෙන්නේ දුකක් වගේම ලැජ්ජාවක්”

යාපනයේ දැනුම් ගබඩාවට නිහීන දේශපාලනය විසින් ගිනිතබා විනාශ කොට අදට වසර 40ක්. (1981 – 2021) අදත් යාපනේ පුස්තකාලයට යනවිට අපට දැනෙන්නේ දුකක් වගේම ලැජ්ජාවක්. ඔබ යාපනේ පුස්තකාලයට ඇතුලු වූ පසු එහි දකුණු පස ගිනිතබා ශේෂ වූ ගොඩනැගිල්ලේ පින්තූරයක් අදත් දකින්න ලැබෙනවා. ඇතුලට යන විට ඈතින් පෙනෙන්නේ තිරුක්කුරල් ග්‍රන්ථය රචනා කළ තිරුවල්ලුවර් කවියා ගේ උඩුකය ප්‍රතිමාවක්. තිරුක්කුරල් කියන්නේ දෙමළ උපදේශ කාව්‍යයක්. ඔහු නිහඬව අපට කළයුත්ත නොකළයුත්ත කියා දෙනවාදැයි සිතෙනවා. 2009 දිනෙක යාපනය පුස්තකාලයට ගොඩවීමට අවස්ථාවක් ලද අතර පුස්තකාලයාධිපති මුණ ගැසී කළ කතාබහේ දී ඔහු පුස්තකාලය ගිනිබත් වූ පසු යාපනයේ ජනතාව ශේෂ වූ ගොඩනැගිල්ල ඉදිරිපිට දණින් වැටී වැළපුණ ආකාරය පවසන විට අපගේ නෙතට ද ඉනුවේ කඳුළක්.

මෙහි අනෙක් පින්තූරය “ගිනි වැදුනු පියාපත්” කාව්‍ය එකතුව පුවත්පත් ලේඛිකාවක් හා ජාතික කෞතුකාගාර පුස්තකාලයේ සේවයේ නියුතු සඳරැසී සුදුසිංහ සොහොයුරිය විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය. පුරාවිද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධිධාරිනියක් වන සඳා, ජාතීන් අතර ඇති විරසකයට දැඩි සංවේදිකමක් දක්වන්නියක්. මේ කෘතිය යාපනය පුස්තකාලය ගිනිතැබීම පාදක කරගෙන ලියැවුණු කාව්‍ය නිර්මාණ වලින් සංගෘහිත බවයි පවසන්නේ. කෙසේ වෙතත් මෙය පාඨකයා අතපත් කිරීම අද වැනි දවසකට යොදාගෙන තිබුණද පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය කළ නොහැකි වූ බව ප්‍රකාශක ජනක ඉණිමංකඩ පවසා තිබුණා.
දමිළ ජනතාව සතුවූ මහාර්ඝ සම්පතක් දකුණේ තිරස්චීන දේශපාලකයින් විසින් ගිනිතබා විනාශ කිරීම දකුණේ පුස්තකාලයකම රැකියාව කරන සිංහල බසින් කවි ලියන කිවිඳියක සංවේදී වීම දෛවෝපගත සිදුවීමක්. ඇගේ සංවේදී කවි සිත මේ සිදුවීම අරඹයා අපට හඬගා කියන්නේ කුමක් ද? අපි නුදුරේ දී කියවා බලමු.
– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

7 + 7 =