කාගෙ හරි කතාවක්…!

දෙන්නෙක් හමුවෙන එක අහම්බයක්. කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු අතරේ ආදරණීය හිත් දෙකක් එකතු වෙන එක ම අහම්බයක්. කාට කාටත් තියෙනවා කියූ නොකියූ එහෙව් කතාවක්. ආදරණීය හැඟීම් සමුදායකින් උතුරලා යන ආදරණීය කතා වගේම කඳුළුවලින් තත්පරයක් පාසා හිත් අවුළුවන දුක්බර කතා ඇති ඕනි තරම්. මගේ කතාව ඊට වඩා වෙනස්. ඒ බැඳීමට එකතුවීම කියලා කියන්න බෑ. වෙන්වීමක් කියන්නත් බෑ. ඒ අතරමැද නැවතිලා තාමත් එහාට මෙහාට පැද්දෙන අමුතු කතාවක්.

ඒ අමුතු කතාවේ අමුතුම ප්‍රේමාන්විත චරිතයට ලෝබ කරන මං තමයි කතාවෙ ස්ත්‍රී පාර්ශ්වය. තාමත් හමුවෙලා නැති, හමුවෙයි කියලා හිතන්නත් බැරි, අහිමි වෙනවට කැමතිත් නැති, කවදාවත් හිමි වෙන්නෙත් නැති අවිනිශ්චිත තැනක අහේතුකව නැවතුණ මං දළඹු පැටියෙක්. කවද හරි දවසක ලස්සන අත්තටු ඇවිත් සමනලයෙක් වෙයි කියලා දින ගනින අහිංසක දළඹු පැටියෙක්. වෙන තැනක නවතින්න නොදී මගෙ හිත එයා ගාවම නතර කරගන්න එයාට පුළුවන් වුණා. ඒක මැජික් එකක්.

මං ආසම මාව නතර කරගත්තු එයාගෙ ආවේණිකත්වයට. මං ආසයි ගොඩක් තැන්වල සැර වෙවී සීරුවට මගෙ අඩුපාඩු හදන විදිහට. ඇස්වලට උනපු කඳුළක් බිමට වැටෙන්න කලින් මූණට හිනාවක් ගේන විදිහට. නීතිරීති නැතුව තාත්තා කෙනෙක් වගේ මාව පරෙස්සම් කරන විදිහට. මං ආසම හිතින් වැටෙන හැම තැනකම ‘ඔයා දක්ෂයි’ කියලා මාව නැගිට්ටවන විදිහට. එකම දේ අල්ලගෙන රණ්ඩු වෙද්දිත් මාව ඉවසන විදිහට. සමහර කටුක දවස්වල හැමෝම අතෑරල යද්දිත් එයා විතරක් නොයා ඉන්න විදිහට. මං ආසම නොකියන දේවලුත් තේරුම් ගන්නව වගේම කියපු සමහර දේවල් නොතේරුණා වගේ ඉන්න ඒ ආඩම්බරකමට. මං කරන හැමදේකම ලස්සනක් නැතත් ‘ලස්සනයි’ කියලා මාව අගය කරන විදිහට. එයාගෙ හැම දුකක්ම මාත් එක්ක බෙදාගන්න විදිහට. ඒ ඔක්කොමත් හරි, මං ආසම ආදරේ නොකියා මටම ආදරේ කරන විදිහට.

මං ආසම මේ හැමදේම එක්ක හිතින් ගොඩාක් දුර යන්න. එහෙම දුර ගිහින් එක පාරට හිතම කඩන් වැටෙද්දි හිස් කොළයක් පිරෙන්න එයාටම කවි ලියන්න. හැබැහින් බැරි වුණත් හිතින් හරි කැමතිම කෑම කකා රට වටේ එයා එක්ක ඇවිදින්න. උරහිසකට බර වෙලා ඔහේ කියවන්න. හිතේ තියෙන හැම අස්සක් මුල්ලක්ම අස්පස් කරගන්න. ඒ වගේ දවසක උණුසුම් හාදුවක් මගෙ නළලෙන් තියන හැටි හිත පුරා විඳගන්න. දවසක දාලා දුරකට යන බව කියද්දි ‘ඔයාගෙ කැමැත්තක්’ කියලා ගාණක් නැතුව හරි සරලව කියලා කඳුළු හිඳෙනකන් හොරෙන්ම අඬන්න. ආපහු හිනා වෙලා මොකුත් නොවුණු ගාණට එයා එක්ක දොඩමළු වෙන්න. මං ආසම හිත රිදුණ වෙලාවටත් නොරිදුණා වගේ රඟපාන්න. ඇත්තටම මං ආසයි අහිමි බව දැන දැනත් එයාටම ආදරේ කරන්න. ඔව් ඒ තමයි මං ආදරේ කරන මගෙ දෙවෙන්දොරා සං.

චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.

one − 1 =