ආයුබොවන්ඩ කොම්රේඩ් තිස්ස,

තිස්ස කිව්වහම රටේ ඉන්න තිස්සල ඔක්කොම කලබල වෙන්ඩත් පුළුවන්. වෙසක් කාලෙ හින්ද මිහිඳු හාමුදුරුවො “තිස්ස-තිස්ස” කියල අමතපු තිස්ස රජ්ජුරුවොය කියලත් අපේ බොදු බැතිමතුන්ට හිතෙන්ඩ බැරි නැහැ. අනේ කවුරුවත් එහෙම කලබල වෙන්න එපා. මම අමතන්නේ වෙනම තිස්ස කෙනෙකුට. ඇත්තටම කිව්වොත් තිස්ස කිව්වට උන්නැහැ තිස්සමත් නෙමේ. නම ඉස්සරහින් මහාචාර්ය-කොම්රේඩ් පට්ටං දෙකකුත් තියෙන හංදා එතුමා සියලු තිස්සවරු අතර සුපිරි තිස්සයෙක්. රටේ වාම දේසපාලනයෙ පතාකයො වෙන ඇන්.ඇම්ලා-කොල්වින්ලා ගොඩනගපු සමසමාජ පක්සෙ අද මුල් පුටුව දරන්නෙත් මෙන්න මේ කොම්රේඩ්ම තමයි. ඒක හංද අපි මේ තිස්සට අරතුමා-මේතුමා නොකියා කෙළින්ම කොමරේඩ් කියල අමතමු.

කොමරේඩ් තිස්සත් ලේසි-පාසු පුත්තරයෙක් නෙමේ. දොස්තර විබාගෙ කාරිය ඉහළින්ම පාස් කොරල රට රාජ්ජවලිනුත් තවත් උපාදි පට්ටන් මහගොඩක් ගහල ආපු පොරක්. ඒක නිසා කොම්රේඩ් නැත්තං සහෝදරයා කියල ආමන්තරණය කොරන කොටනං කෝකටත් ටිකක් ප්‍රොවේසං වෙන එකනං ඇඟට ගුණයි කියල හිතෙනවා. මොකද ලෙනින්ලගෙ-ට්‍රොට්ස්කිලගෙ අඩි පාරෙ සමාජවාදෙ කරා ගමන් කොරනව කියපු ඩිව්ලා-වාසුලා වගේම මුන්නැහැලත් රජපක්සලගෙ අඩිපාර දිගේ මැදමුලන දිහාට ඇදිල යන ගතියක් පෙනෙන හංදයි.

අපි අහල තියෙන විදිහට නං ඒ කාලෙ සමසමාජකාරයො කිව්වෙ 53 හර්තාලෙ කොරපු, නැති බැරි උන්ගෙ අයිතිවාසිකං වෙනුවෙන් හටන් කොරපු, බෙල්ල ගහල ගියත් අනාගත පරම්පරාවට අයිති රටේ සම්පත් කාබාසිනියා කොරනවට විරුද්ද වුණු හටන්කාර කස්ටියකට. එහෙව් පක්සයකට අද අත්වෙලා තියෙන කලදසාව ගැන අහන-දකින කොටනං අනේ අපොයි කියල හිතෙනවා. සමසමාජෙ අලුත් නායකතුමා හැටියට පත්වෙලා ඉන්න තිස්ස පොපෙසර්තුමාගෙ කියුං-කෙරුන් දිහා බලනකොට දැන් අපිට හිතෙන්නෙ ඒකෙ රතු කොඩිය මැද තියෙන දැකැත්තයි – මිටියයි වෙනුවට සාටකෙයි-පොහොට්ටුවයි දැම්මානං වැඩිය ගැළපෙනවා කියලයි.

ඊයෙ පෙරේදා පාර්ලිමේන්තුවට පෝට්සිටි පනත ගෙනාපු වෙලාවෙ පොපෙසර්තුමාලා සමසමාජ පක්සෙ අතීත ගව්රවය ආරක්සා කොරපු හැටි විතරමක්ම ඇති කොම්රේඩ් ඔහෙලගෙ සකල කෙරුවාවම නැති බංගස්තාන වෙන්ඩ. එදා සුද්දො අපෙන් උදුරගත්තු රටේ සම්පත් ආපහු ගන්ඩ මාරාන්තික හටනක් කොරපු ඔහෙලගෙ පක්සෙට කොරන්න ඇහැකි ලොකුම නිග්ගරහය -අවමානය අත්පත් කොරල දුන්න වෙලාවෙ හුර්දය සාක්කිය කිරියා විරහිත කොරගෙන වෙන්ඩැති උන්නෙ මයෙ හිතේ. ඇන්ඇම්ලගෙ බාසාවෙන්ම කියනවනං පංති ද්‍රෝහියෝ හැටියට ඉතිහාසෙ නම ලියාගන්ඩ ඇහැක් වෙච්ච එක ගැන දැන් ඔහේට සතුටුද තිස්ස…?

ඔහෙලගෙ බෙල්ලෙ එතිල තියෙන සාටකේට මොන තරං බය-පක්ස වුණත් චීන්නු ඇවිත් පෝට් සිටිය ගලවන් ගියත් කමක් නැහැ කියන සයිස් එකටම තිස්ස කොමරේඩ්ලා නූතන සමසමාජෙ හුළං බස්සයි කියලා අපි නං හීනෙකින්වත් හිතුවෙ නැහැ ආයිබොවන්ඩ. දියවන්නා මන්දිරේ ඇතුළට වෙලා අතපය අකුළගෙන උන්න මදිවට වැඩේ හබස් වුණාට පස්සෙ විලිලැජ්ජා නැතුව මාද්දිය ඉස්සරහ පිටට ඇවිත් සළු-පිළි උනා දාපු හැටි දැක්කහම අපිට වමනෙ යන්ඩත් ආවා. පෝට් සිටියට විරුද්දව කට ඇරියෙ නැත්තෙ, ඉහළම තැනකින් එපා කියපු හංදය කියල රටටම ඇහෙන්ඩ නාහෙන් ඇඬුවට වඩා නරකද කොම්රේඩ් ඇන්ඇම් සහෝදරයගෙ ප්‍රොතිමාව ඉස්සරහට ගිහින් හරාකිරි කොරගත්තනං. දැන් අපිට කියන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ අහෝ මාක්ස්-ලෙනින්-ට්‍රොට්ස්කි..අහෝ ඇන්ඇම්-කොල්වින් කියල විතරමද තිස්ස කොම්රේඩ්..?
විශ්ව මිත්‍ර

 

Leave A Reply

Your email address will not be published.

twenty + sixteen =