ඉල්ලා අස්විය යුත්තේ පවිත්‍රා නොව මුළු ආණ්ඩුවමය

පවිත්‍රා වන්නිආරච්චි රටේ ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යවරියයි. කොරෝනා මුල් අවස්ථාවේ ඇය ජනප්‍රිය චරිතයක් වූවාය. පළමු කොරෝනා චීන කාන්තාව සිඹ ගැනීමත් සමඟ ඇයගේ භූමිකාව ආරම්භ විය. ඇය හැමදාම රූපවාහිනියේ පෙනෙන්නට සිටි කාර්යශීලි කාන්තාවක් ලෙස රඟදැක්වූවාය. පළමු කොරෝනා රැල්ල අවසන්වූ පසු ඇය මෙහි සම්පූර්ණ ගෞවරය පළමුවෙන් යා යුත්තේ ජනාධිපතිවරයාට යැයි පැවසුවාය. දෙවැන්න අගමැතිටත් තුන්වැන්න අයි.ඩි.එච්. රෝහලේ කාර්ය මණ්ඩලයටත් යැයි පැවසුවාය. දෙවැනි කොරෝනා රැල්ල ඒමත් සමඟ ඇය ධම්මික පැණිය පස්සේ ගියාය. කිරිමුට්ටි ගඟේ පා කරන තත්ත්වයට වැටුණාය. කොරෝනා වෙනුවෙන් විහාර මහා දේවිය වගේ මුහුදට පනින්න වුණත් සූදානම් බව කිව්වාය. අන්තිමේදී ඇයටත් කොරෝනා හැදුණාය. මේ වන විට ඇය කෙරෝනා භූමිකාවෙන්ද පේන්නෙම නැතිව පැත්තකට විසි වී ගොසින්ය.

එන්නත් පිළිබඳව කතා කරන්නේ රාජ්‍ය ඇමති චන්න ජයසුමනය. එන්නත් අනුමත කිරීම පිටුපස්සේ ඉන්නෙත් ඔහුය. අනෙකුත් ඇන්ටිජන්, පී.සී.ආර්. ඒවා පිළිබඳව පෙනී ඉන්නේත් ඔහුය. මුලින්ම පැණිය ගැන සහතික දුන්නේ චන්න ජයසුමනය. ඒ ධම්මික පැණියටත් කලින් ආ සුදර්ශන පැණිය පිළිබඳවය. එහෙම මූලාරම්භයක් තිබූ චන්න ජයසුමන දැන් ජනාධිපතිගේ කිට්ටුවන්තයාය. පවිත්‍රා කැපී ගොසින්ය. අඩුම ගාණේ දවසකට කීයක් මැරෙනවාද, කීයක් රෝගී වෙනවාද කියන දත්ත ටිකවත් පවිත්‍රා දන්නේ නැත. ඇයට ඒවා ලබා දෙන්නේ ද නැත. හමුදාපතිවරයා මාධ්‍යයට කියන දත්ත ටික හරි නම් මුලින්ම යා යුත්තේ ඇය වෙතය. එහෙත් එහෙම දෙයක් වෙන්නේ නැත. කොටින්ම ගතහොත් මේ වනවිට පවිත්‍රා ඉන්නේ තමන් සෞඛ්‍ය ඇමතිනිය නොවන මට්ටමට වැටිලාය. සයිනොෆාම් එන්නත ගෙන්වීමේ මුළු ක්‍රියාදාමයට චීනය හා සම්බන්ධ වන්නේ චන්න ජයසුමනය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ මට්ටමේ කතාබහ ඇත්තේ ජනාධිපතිවරයා දැන් පවිත්‍රාව ගණන් ගන්නේ නැති බවය. වැඩියෙන් කිට්ටුවෙලා ඉන්නේ චන්න බවය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මුලදී හිටියේ බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමතිවරිය ලෙසය. මහර බන්ධනාගාරයේ සිදුවීමත් එක්ක ඒ ජාතියේ ඒවට මැදිහත්වෙන්න චණ්ඩියෙක් අවශ්‍ය වුණේය. ඒ වුවමනාවට හදිසියේම ලොහාන් රත්වත්තේව ඒ ඇමතිකමට පත් කළේය. සුදර්ශනීට දෙන්න දෙයක් නැතිකමට කෝවිඩි පිළිබඳ ඇමතිකමක් දුන්නේය. එනමුත් කිසිදු ආයතනයක් ලබා දුන්නේ නැත. මුලින්ම ඇයට ඉන්න හිටින්නවත් අමාත්‍යාංශ කාර්යාලයක් තිබුණේ නැත. ඇයට තිබුණේ, මාධ්‍යවලට මොනවා හරි කියන දේ විතරක්මය. කොරෝනා තුන්වැනි රැල්ලත් එක්ක ඇය වේගයෙන් ජනප්‍රිය වූවාය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව තියෙන ඇත්ත තත්ත්වය ඇති සැටියෙන් කීමත් එක්කය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මුලදී හිටියේ බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමතිවරිය ලෙසය. මහර බන්ධනාගාරයේ සිදුවීමත් එක්ක ඒ ජාතියේ ඒවට මැදිහත් වෙන්න චණ්ඩියෙක් අවශ්‍ය විය. ඒ වුවමනාවට හදිසියේ ම ලොහාන් රත්වත්තේව ඒ ඇමතිකමට පත් කළේය. සුදර්ශනීට දෙන්න දෙයක් නැතිකමට කොවිඩ් පිළිබඳ ඇමතිකමක් දුන්නේය. එනමුත් කිසිදු ආයතනයක් ලබා දුන්නේ නැත. මුලින්ම ඇයට ඉන්න හිටින්නවත් අමාත්‍යාංශ කාර්යාලයක් තිබුණේ නැත. ඇයට තිබුණේ, මාධ්‍යවලට මොනවා හරි කියන දේ විතරක්මය. කොරෝනා තුන්වැනි රැල්ලත් එක්ක ඇය වේගයෙන් ජනප්‍රිය වූවාය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව තියෙන ඇත්ත තත්ත්වය ඇති සැටියෙන් කීමත් එක්කය. ඇය වැඩිපුරම වෛද්‍යවරුන්ගේ මතයන් ගැන පරීක්ෂාකාරී වූවාය. පැණිය පිළිබඳවත් කිව්වේ තේරුමක් නැති වැඩක් කියාය. අද වෙනකොට වසංගතය වසන් කළත්, අපි ඔක්කොම වසන් වෙලා යැයි කියන එක පවා කෙළින් කිව්වාය. ආණ්ඩුවට ඉස්පිරිතාලවල පහසුකම් ටික සපයා ගන්නට විදියක් නැති නිසා උදවු කරන්න යැයි කිව්වාය. ගම්මන්පිල වගේ මෝඩ ගොන් කතා කිව්වේ නැත. එන්නත් කවලම් කරල ගහන්න පුළුවන් කියලා ගම්මන්පිල කියන කොට සුදර්ශනී කිව්වේ එහෙම කරන්න බැහැ කියාය. අප්‍රේල් මුලම රට වහලා ක්ෂණික මැදිහත්වීමක් කළයුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් දුන් බවත් ඇය ප්‍රසිද්ධියේම කතා කළාය. ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඇයට ජනාධිපතිගේ හෝ ආණ්ඩුවේ පැසසුම් ලැබෙන්නේ නැත. ඇත්තේම කැපිලි කෙටිලිය.

ඇය සල්ලි නැහැ කියනකොට ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වේ ඇයට මානසික ආතතියක් තියෙන බවය. ආණ්ඩුවට ඕනෑ තරම් සල්ලි තියෙන බවය. ඊයේ පෙරේදා නාමල් රාජපක්ෂ කියන්නේත් ඕනෑ තරම් සල්ලි තියෙන බවය. ඒ වුණාට ඉස්පිරිතාලවල ඇඳන් නැත. ඔක්සිජන් දෙන උපකරණ නැත. අඩුපාඩු එමටය. නිරෝධායන මධ්‍යස්ථානවල ලෙඩ්ඩුන්ට බොන්න වතුරවත් හරිහැටි නැත. ලැබෙන්නේ අන්තිම ජරා වෙච්චි කෑමය. වහළවල් තෙමෙනවාය. මේ ඇදවැටෙන වැස්සත් එක්ක ඒවායේ ඉන්නම බැරි තත්ත්වයක් ඇත. රෝගීන්ගෙන් හතළීහකට පනහකට විතර යන්න ඇත්තේ එකම එක වැසිකිළියකි. ඒවාට පාවිච්චි කරන්න වතුරත් නැත. එහෙම අඩුපාඩු ගොඩක් තියෙද්දී, නාමල් කියන්නේ දිස්ත්‍රික්ක හැම එකකම තත්ත්වය ඉතා හොඳ බවය. මේ වන විට රෝගය ඇති බව හඳුනා ගත් අයව සොයා බලන යාන්ත්‍රණය මුළුමනින් ම බිඳවැටී ඇත. සම්පූර්ණ අවුල් ජාලාවක් බවට පත්වී ඇත.

නන්දසේනට ඒ බව වගේ වගක් නැත. හතර විලිලැජ්ජා නැතිව කෝටි ගණන් වියදම් කර මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්නේය. පෝට් සිටිය විකුණන්නේය. ගොවියන්ට දීපු පොහොර ටික නවත්වන්නේය. තනිකරම ඔලමොට්ටල වැඩ කරමින් සිටින්නේය. ඒ අස්සේ පවිත්‍රාට ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යැයි බල කිරීමද ඇති වන්නේය. සෞඛ්‍යයට විතරක් ඇමතිවරු හතර දෙනෙක් ඉන්නේය. අද වෙනකොට අනෙක් අමාත්‍යාංශවල වැඩ ඔක්කොම නතර වෙලාය. කෙරුණත් කෙරෙන්නේ බොහොම ස්වල්පයක්ය. මුළු ඇමති මණ්ඩලයේමත්, ආණ්ඩුවේමත් මැදිහත් වීම ඇත්තේ කොරෝනාවලටය. එහෙම වෙලත් වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක්ය. ඒකට වග කියන්න ඕනි තනියෙන් පවිත්‍රාවත්, සුදර්ශනීවත් නොවේය. මුළු ආණ්ඩුවමය. ආණ්ඩුව මෙහෙයවන්නේ එහි නායකයා වන ජනාධිපතිය. ඒ කියන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂය. ජනතාව ඉල්ලා අස්වෙන්නට කියන්න ඕනි පවිත්‍රාට නොවේය. තමන්ට කරගන්න බැරි ඇමතිකමකට පවිත්‍රා පත්කරපු නන්දසේනටය. තමන්ට ඕනෑ ඕනෑ දේ කරන හෙන්චයියෙක් වෙච්චි චන්නලාව හුරතල් කරන නන්දසේනටය. අඩුම ගාණේ වෛද්‍ය විෂයය ගැනවත් දන්න සුදර්ශනීලාට වගකීම් නොදෙන නන්දසේනටය.

අද මුළු රටේම ප්‍රධානතම ප්‍රශ්නය වී ඇත්තේ මේ කොරෝනා වසංගතයයි. මුළු ආණ්ඩුවේ ම බර දැම්මත් රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගන්න බැරි වී ඇත. එයට හේතුව වී ඇත්තේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය නිසි තීන්දු තීරණ නොගැනීමය. අදටත් ඇඟලුම් ශාලාවල දහස් ගණන් කාන්තාවන් එකරොත්තට වැඩය. ඒ අය වැඩට යන්නේත් එන්නෙත් එක බස් එකේය. රෝගය බරපතළ ලෙස තව තවත් ව්‍යාප්ත වන්නේය. ඒ විතරක් ද නොව කොරෝනා මර්දනය පිළිබඳ සියලුම අංශ අවුල් වී ඇත. එයට මුළුමනින්ම වගකිව යුත්තේ සමස්ත ආණ්ඩුවමය. එහෙම නැතිව වැඩේ වරදින කොට දැන් මෙය සෞඛ්‍ය අංශ වෙත පටවා ඇඟ බේරා ගන්නට බැරිය. හරි යන කොට මුළු ගෞරවය ආණ්ඩුවටත්, වරදින කොට සෞඛ්‍ය බලධාරීන්ටත් පැවරීම ජනතාව රුස්සන්නේ නැතිය. සමස්ත වගකීම ඇත්තේ නන්දසේන ඇතුළු ආණ්ඩුවටය. එබැවින් මැරෙන හැම මනුෂ්‍ය ජීවිතයකටම වගකිව යුත්තේ වර්තමාන ආණ්ඩුවය. ඉල්ලා අස්විය යුත්තේ එයයි●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

seventeen − four =