ව්‍යසනය ද මඟපෙන්වන කැඩපතකි

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන මධ්‍යස්ථානයක ප්‍රසිද්ධියේ යකා නටන මොරටුව නගරාධිපති සම්බන්ධ සිදුවීමෙන් රට වැටී තිබෙන දේශපාලන බංකොලොත්භාවයේ තරම පෙන්නුම් කරයි. එහි රාජකාරියේ නියුතු වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට ඔහු බලපෑම් කරන්නේ තමාගේ චිට් රැගෙන එන අයට එන්නත් ලබා දෙන ලෙසයි. එසේ නොකරන්නේ නම් කිසිවකුට එන්නත් ලබාදීමට ඉඩ නොදෙන බව ඔහු පවසයි. පොලිස් නිලධාරීන්ද සිටියදී ආණ්ඩුවේ දේශපාලකයකු හැසිරෙන අන්දම පිළිකුල්සහගතය. 

කුරුණෑගල ප්‍රදේශයේ එන්නත් ලබාදෙන වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සමඟ මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ද සහභාගී වී සිටියහ. ඒ අතර ස්ථාන කිහිපයකම අදාළ ක්‍රමවේදයෙන් බාහිරව ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ ඥාතීන්ට එන්නත් ලබා ගැනීමට යාම නිසා ජනතාවගෙන් විරෝධතා එල්ල වී ඇත.

එන්නත්කරණය පමණක් නොව සමස්ත කොවිඩ් මර්දන වැඩපිළිවෙළම අවුල් ජාලාවක් වී තිබේ. තවත් පැහැදිලිව දකින්නේ නම්, රටේ සියලු අංශ අවුල් වී ගොස් ය. ජනතාව බලාපොරොත්තු වූ එක රටක එක නීතියක් හෝ සමාජ සාධාරණත්වයක් අසන්නටවත්, පෙනෙන්නටවත් ඇත්තේ නැත.

ඒ අතර එන්නත් ලබා දුන් ප්‍රදේශ බොහොමයක ජනතාවට පැය 6-7ක පමණ කාලයක් පෝලිම්වල රස්තියාදු වීමට සිදුව තිබේ. මේ සඳහා ‘ඔන්ලයින්’ ක්‍රමයට වේලාවන් ලබා දුන්නේ නම්, ජනතාවට කිසිදු රස්තියාදුවකින් තොරව එන්නත් ලබා ගැනීමට හැකියාව තිබිණි. එහෙත්, එවිට දේශපාලන ‘චිට්’ ක්‍රමය ක්‍රියාත්මක කිරීම තරමක් අපහසු වන්නේ ය. එයට ආණ්ඩුවේ දේශපාලකයන් කැමැති නැත.

පසුගිය දිනක පිළියන්දල ප්‍රදේශය ‘ලොක්ඩවුන්’ කිරීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර තිබියදී, ආණ්ඩුවේ තම බලය යොදවා එය වැළැක්වූයේ ගාමිණී ලොකුගේ ඇමතිවරයා ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදාළ පටිපාටියට පිටින් කටයුතු කරමින්, තම පවුල්වල  අයට හා හිතවතුන්ට එන්නත් ලබා දීමට පියවර ගැනීම කනගාටුදායක ය. මේ ප්‍රශ්නය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවාවන්හි නියුතු වෘත්තිකයෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ද අවතීර්ණ වී සිටිති. ඒ අතර කිසිදු සැලැසුමකින් තොරව දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එන්නත් ලබා දීම නිසා පළමු එන්නත් වාරය ලබා දුන් ලක්ෂ හයකට වැඩි පිරිසකට එහි දෙවන මාත්‍රාව ලැබීමේ අවස්ථාව අහිමි වී ඇත.

මෙයින් පෙන්නුම් කරනුයේ අන් කිසිවක් නොව වසංගතයට වඩාත් වැදගත්ම ප්‍රතිකාරය වන එන්නත්කරණය කොතරම් අවුල් ජාලාවක් වී ඇත් ද යන්නයි. සැබැවින්ම එන්නත්කරණය පමණක් නොව සමස්ත කොවිඩ් මර්දන වැඩපිළිවෙළම අවුල් ජාලාවක් වී තිබේ. තවත් පැහැදිලිව දකින්නේ නම්, රටේ සියලු අංශ අවුල් වී ගොස් ය. ජනතාව බලාපොරොත්තු වූ එක රටක එක නීතියක් හෝ සමාජ සාධාරණත්වයක් අසන්නටවත්, පෙනෙන්නටවත් ඇත්තේ නැත.

යම් කිසිවක සාර්ථක අසාර්ථක බව මැනිය හැක්කේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ නොව සුවිශේෂී අභියෝග හමුවේය. අද වත්මන් ආණ්ඩුව ද මේ පරීක්ෂණයට මුහුණ දී සිටී. බොහෝ දෙනා විශ්වාසය පළ කළේ තිස්අවුරුදු යුද්ධය ජය ගත් රාජපක්ෂවරුන්ට රට හදන එක කජ්ජක් දැයි කියා ය. දේශපාලනයේ නියුතු රාජපක්ෂලා ඊට අසමත් බව 2015 වන විට මොනවට රට හමුවේ පෙන්වා තිබූ නිසාවෙන් රාජපක්ෂවරුන්ට ආණ්ඩුව ද අහිමි විය. ඉන්පසු බලයට පත් රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ පැවැති අසාර්ථකත්වයත්, දේශපාලනයට නොපැමිණි නිලධාරියකු ලෙස ගෝඨාභය පෙන්වා තිබූ ප්‍රතිරූපය නිසාත් රට භාර දිය යුත්තේ ගෝඨාභයට බව බොහෝ දෙනා විශ්වාස කළහ. රාජපක්ෂ පවුලේ දේශපාලනය කළ අයගේ අපකීර්තිමත් වැඩ රටාවට නැවතීමේ තිත තබා, වංචා දූෂණවලින් තොර, ප්‍රතිපත්තිගරුක පාලනයක් ගෝඨාභය පාලනය තුළ ස්ථාපිත කෙරෙනු ඇතැයි ඒ අය බලාපොරොත්තු පළ කළහ.

මේ අන්දමට පසුගිය දශක හතක් තිස්සේ ජනතාව රැවටිල්ලට ලක්වූහ. මහත් ඛේදවාචකයක් බවට පත් කරගෙන ඇති මේ කොවිඩ් ප්‍රශ්නයෙන් යළිත් වරක් රටට කියාදෙන බරපතළ පාඩම වන්නේ එයයි. ජනතාව තම හතුරන් සිංහාසනාරූඪ කිරීමේ පිළිවෙත වෙනුවට තමන්ගේම ජනබලය, රටේ පාලන බලය බවට පත් කර ගන්නා ක්‍රමයක් ගැන කල්පනා කළ යුතුව තිබේ. අසන්නට, දකින්නට ලැබෙන මේ අමානුෂිකත්වය පැරදවිය හැකි අන් මඟක් ඇත්තේ නැත●

 

 

Leave A Reply

Your email address will not be published.

7 − five =