හුදෙකලා ජීවිතයට අර්ථයක් එක්කරන සංස්කෘතික ජීවිතය

අප දැන් අවුරුද්දකටත් වැදී කාලයක සිට මේ කොරෝනා වසංගතයට මුහුණ දෙමින් එහි පළ විපාක ඕනෑවටත් වඩා අත්විඳිමින් සිටිමු. ජීවිතේ අත්‍යාවශ්‍යම කාරණාවලින් මූලිකම කාරණයක් වන “සමීප මිනිස් සබඳතාවයන් “අපගෙන් ඈත්වී ඇත. මීට කලින් ආදරය කරන පෙම්වතුන් හා පෙම්වතියන් ඔවුනොවුන් අතිනත ගෙන ආදරයෙන් වෙලී දොඩමළුව ඇවිදගෙන ගිය කාලය සීමා වී ඇති අතර, මීට කලින් පොත් එළිදැක්වීම්, සිනමා කෘතියක් නරඹා ඒ ගැන කල කතාබහ හා යම් දේශපාලනික සාකච්ඡා තුල සජීවීව අප මුණ ගැසෙනවා වෙනුවට, තම තමන් ඉන්නා තැන ඉඳල තනියම නව තාක්ෂනය ඔස්සේ ZOOM සාකච්ඡාකරමින් සිටිමු. (මේ මොහොතේ මෙවැනි සාකච්ඡා කරන එක ඉතාමත් හොඳ වැඩකි) මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් නිසා මිනිසෙකුට හුදෙකලා වී ජීවත් වෙනවා කියන එක ඉතාමත් අමාරු දුෂ්කර කාරණයකි. එහෙත් ජීවිතේ සමහර අවස්ථාවල් එනවා මිනිසුන්ට තම සමීපයන්ගෙන් වෙන් වී තනියම ජීවත් වන්නට. අන්න ඒ අවස්ථාවන් වලදී තමයි තේරෙන්නේ පොතක් පතක් කියවන්නට, සිනමා කෘතියක් බලන්නට, සංගීතයක රස විඳින්නට හුරුවෙලා තියන එක ජීවිතයට කෙතරම් වටිනවද කියල.

පිළිකා රෝගයෙන් පෙළුණු මගේ සමීපතම මිතුරියක් හිටියා අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින්, ඇය හොඳට පොත් පත් කියවපු හොඳ සංස්කෘතික ජීවිතයක් ගතකරපු හරිම ආදරණීය චරිතයක් එයා. ඇය මියයන තුරුම මම ඇයව බලන්නට නිතරම රෝහලට ගියා. ඒ යන හැම අවස්ථාවේදීම මම ඇයව බලන්නට යන්නේ පොතක් පතක් අරගෙන. ඒ යන සෑම අවස්ථාවකදීම අපි දෙන්නා කතා කලේ අපි කියවූ පොත්වල ඇති රසබර තැන් ගැනය. වෙනත් බාහිර වැඩකට නැති හිස් දේවල් ගැන අපි කතා නොකළෙමු. ඇය මියයන තුරුම මම කවදාවත්ම ඇයගේ රෝගය ගැන ඇසුවේ නැති අතර, ඇයද මා සමග රෝගය ගැන කියා කිසිවිටක හඬා වැලපුණේ ද නැත. කෙතරම් අමාරු තත්වයක් යටතේ ඇය සිටියත් මම ඇය බලන්නට යන හැම වෙලේදීම ඇය සිටියේ සිනාමුසු මුහුණෙන්ය. ඇය මිය යන්නට දින දෙක තුනකට කලින් මම ඇයව බලන්නට ගිය විටකදී ඇය මගේ අත්දෙක අල්ලාගෙන කියා සිටියේ “ඔයා හරිම ආදරණීය චරිතයක්, ඔයාට ගොඩාක් පිං මාව මේ විදියට සතුටින් තිබ්බට සාලිය” කියන විට මට කෑ ගහලා අඬන්න තරම් සිතුනත් මම එය අමාරුවෙන් යටපත්කරගෙන ඇයට ගෙනා “ආගන්තුක රෝගියා” පොත ඇය අත තැබීය. ඊට දින හතරකට පසුව ඇය මේ ජීවන රඟ මඩලෙන් සමුගත් බව මට පනිවිඩය ලැබුණු විට, මට දරාගන්න බැරි වේදනාවක් දැනුනත් මා එය සමනය කරගත්තේ ඇය රෝහල්ගතව සිටි කාලය තුල මම ඇයව සතුටින් තිබ්බාය කියන හැගීම සිහිපත් කරමිනි. පොතක් පතක් කියවන්නට හුරුවී සිටින එක යාන වාහන, ගෙවල් දොරවල්, ලොකු මන්දිර වලට වඩා කෙතරම් වටිනවාද කියන එක එදා මගේ මිතුරියගේ අත්දැකීමෙන් වගේම අද අප මුහුණ දී සිටින මේ වසංගත තත්ත්ව කාලයේද තව තවත් මට එය යතාර්තයක් බව වැටහෙයි.

ඉතිං‍ ! මට ඔබට කියන්නට තිබෙන්නේ මෙපමණකි. දවසක අප මොනයම් හේතුවක් නිසා හෝ තනිවුනු විටක පොත පත කියවීමට හුරුවී සිටින එක දිවි ඔසුවක් බවයි. මගේ මියගිය මිතුරියට මම ඇයට අවසන් වරට දුන්නේ මයිකල් ඔන්ඩච්චි ගේ THE ENGLISH PATIENT කියන පොතේ සිංහල පරිවර්තනයයි. එම පොතේ 192 වෙනි පිටුවේ මෙහෙම තියනවා
“දවසේ වැඩි කොටසක් ඔබ මා අසළක නොමැති නම් මට එය දරා ගත හැකි නොවේ, එහෙත් ඉතිරි කාලය තුළ දී ඔබ හමු නොවුවද මට කම් නැත. එය සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක්‌ නොව, ඔබට යමක් දරා ගත හැකිද යන්න පිලිබඳ ප්‍රශ්නයකි”
– සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

twenty − nine =