කිර්ගීසියාවේ රෝස කුසුම “ජමීලා” (Jamilya – Джамиля)

සෑම ගැහැනියක තුළම නිහඬ විප්ලවකාරියක ජීවත්වෙතැයි යන කරුණ මම තරයේ විශ්වාස කරමි. සංස්කෘතිය, සදාචාරය සහ ඈ වටා ඇති අනිකුත් බැඳීම් විසින් එකී නිහඬ විප්ලවකාරිය බැඳ දමා තබනු ලැබූව ද ඇයගේ ඉවසීමේ පරිධිය ඉක්මවා ගිය තැන දී ඇය තුළ සැඟවී සිටින නිහඬ විප්ලවකාරිය නැගී සිටින්නේ අළු යට සැඟව සිටින ගිනි පුපුරක් පරිද්දෙනි. මට හමු වූ එකී නිහඬ විප්ලවකාරියන් අතර චින්ගීස් අයිත්මාතව්ගේ “ජමිලා” ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි.
මෙම කතාවේ කථකයා වන්නේ සෙයිට් නම් චිත්‍ර ශිල්පියෙකි. කතා නායිකාව වන ජමිලා ඔහුගේ සොහොයුරාගේ බිරිඳ වේ. ජමිලා වනාහි තාරුණ්‍යයේ ජීවයෙන් පිරී ගිය ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තියක් බඳු යෞවනියකි. සෙයිට්ගේ සොහොයුරාට ඇයව මුණගැසෙන්නේ තුරඟ තරඟයකදී ය. තරඟයේදී ජමිලා වෙතින් පරාජයට පත්වූ ඔහු ඉතා උපක්‍රමශීලීව ඉන් සිය පුරුෂත්වයේ අභිමානයට සිදුවූ කැළල වසා ගන්නේ ජමිලාව විවාහ කරගැනීමෙනි. ඔහු තුළ ඈ කෙරෙහි පිළිසිඳගත් ප්‍රේමයක් නොවීය. දැන හෝ නොදැන ජමිලාට සිදුවූයේ පුරුෂාධිපත්‍ය ආකල්පයක ගොදුරක් බවට පත්වීමට ය. එහිදී මෙම නිර්මාණය තුළින් ප්‍රශ්නගත කෙරෙන්නේ පුරුෂාධිපත්‍යය තුළ සැඟවුණු ආත්මාර්ථකාමී ආකල්පවල සාධාරණත්වය යි.
ජමිලාගේ ජීවිතය තව තවත් හුදෙකලා බවේ කටුකත්වය තුළ ගිලී යන්නේ ඇයගේ සැමියා යුධ සේවයට පිටත්ව යෑමත් සමඟ ය. දුෂ්කර යුධ සමයක් තුළ ජීවිතය ගෙන යාම සඳහා යෙදෙන්නට සිදු වූ අරගලයත්, කුඩා ලෝකයක් තුළ කොටු වූ ගෘහ ජීවිතයත් ඈ තුළ තටු ගසමින් වැඩුණු තාරුණ්‍යයේ ජීවයෙන් පිරිපුන් නිදහස් කිරිල්ලියගේ තටු සිඳ දැමීමට නොනවතින උත්සහයක යෙදී සිටියේ ය. දුෂ්කර, හුදෙකලාවෙන් පිරී ගිය ජීවිතයක් තුළ ඈ ප්‍රේමය පිළිබඳව නොතිත් පිපාසාවකින් පසුවූවා ය. නමුත් ඇගේ සැමියාගේ ජීවිතය තුළ ඇයට හිමිවූයේ ඇය අපේක්ෂා කළ ප්‍රේමයෙන් පිරුණු උණුසුම් ඉඩකඩක් නොවේ. එය නොවැදගත් කුඩා ස්ථානයකට සීමා විය. එය ඇයගේ සිත තුළ වූ තුවාලය වඩාත් පාරවා දමමින් මහත් පීඩාවක් ඇතිකළාට සැකයක් නැත.
“ගැහැනියකගේ වාසනාව ළමයින් හදාවඩා ගැනීමත්, ගෙදරදොර අරපිරිමැස්මෙන් කටයුතු කිරීමත් යැයි මහලු නැන්දම්මා ජමිලාට උගන්වන්නීය. යුද්ධයට ගිය ඇයගේ සැමියා එවන ලියුම්වල ඇයගේ නම සඳහන් වන්නේ ඕනවට එපාවට මෙනි.”
ජමිලාට මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම් යුධ සමයක් තුළ තරුණ ස්ත්‍රීන්ට මුහුණදීමට සිදුවන සමාජීය ඛේදවාචකය ද, පවුල් සංස්ථාව තුළ ප්‍රේමය, රැකවරණය ආදිය අහිමි වී යාමෙන් ස්ත්‍රියකට මුහුණදීමට සිදුවන හුදෙකලා පීඩාකාරී මානසික තත්වය ද මැනවින් විදහා දැක්වීමට සමත් වෙයි.
ආබාධිත යුධ සෙබලෙකු වූ දනියාර් ජමිලාගේ ජීවිතයට ආලෝකයක් රැගෙන පැමිණෙන්නේ මෙවන් පසුබිමක් තුළ ය. නිහඬ ආඩම්බරකාරයෙකු වූ දනියාර් තාරුණ්‍යයේ ජීවයෙන් පිරී ගිය ජමිලාගේ හදවත සොරාගැනීමට සමත් විය. සැමියා විසින් වටහා නොගන්නා ලද ඇගේ හැඟුම් ප්‍රේමයෙන් වර්ණ ගැන්වීමටත්, ඒවා වටහා ගැනීමටත් දනියාර් සමත්විය. දනියාර්ගේ ගීතවත් කටහඬ ජමිලාගේ ජීවිතයට ගෙන ආවේ තුරු වැල් අතරින් පෙරී එන සඳ කැන් දහරක සෞම්‍ය බවකි. දනියාර්ගේ ගීතවල වූ සිත් ඇදගන්නාසුළු වූ මායාකාරී බව පිළිබඳව සෙයිට් වර්ණනා කරන්නේ මෙසේ ය.
“ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත. එය සප්‍රාණික පුද්ගලයෙකුට ආලය කිරීමක් නොව, පොදුවේ
ජීවිතයට සහ මව්බිමට ආලය කිරීමක්. ඔහු එම ආලය සඟවාගෙන එමෙන්ම තම ගීතවලට ආදරය කරමින් එයින් ජීවන ශක්තිය ලබාගත්තේ ය. කොතරම් හොඳ කටහඬක් තිබුණ ද, උදාසීනත්වයෙන් පෙළෙන්නෙකුට එලෙස ගායනා කළ නොහැක.”
දනියාර්ගේත් ජමිලාගේත් ප්‍රේමය අසම්මතයක් වුව ද හුදෙක් කායික ආශාවන් සන්තර්පණය සඳහා ගොඩනගාගත් සබඳතාවයක් නොවේ. එය ඉන් ඔබ්බට ගොස් වේදනාවෙන් දැවී හුදෙකලා වූ ආධ්‍යාත්මයන් දෙකක් ප්‍රේමණීය හැඟුමින් සන්තර්පණය කළ ගැඹුරු වූත් සොඳුරු වූත් සබඳතාවයක් විය. හුදෙක්ම එය ජීවිත දෙකක් අතර නොව ආත්මයන් දෙකක් අතර ඇතිවූ සොඳුරු සංවාදයක් හා බන්ධනයක් විය. සෙයිට් ඔවුන් දෙදෙනා තුළ වූ ආත්මීය බැඳීමේ ඇසින් දුටු සාක්ෂිකරුවා වූ අතර ඔහුගේ චිත්‍රය එය පිළිබඳව ලොවට කියා පෑ නිහඬ සාක්ෂිය විය. ඈත දුර ඈත තෙක් විහිදී ගිය හුදෙකලා ස්ටෙප්ස් තෘණ භූමිය ඔවුන්ගේ ප්‍රේම පාරාදීසයට අපූරු තෝතැන්නක් විය. එවන් සොඳුරු වූත් ගැඹුරු වූත් සබඳතාවයක් පිළිබඳව නිර්මාණකරුවා ගෙනහැර දක්වන්නේ සොඳුරු සංයමයකින් යුතුව ය. අසම්මතයක් වුව ද දනියාර්ගේ හා ජමිලාගේ ප්‍රේම සබඳතාවය පාඨකයා තුළ නොපහන් සිතුවිලි ජනිත කරවන්නේ නැත. ඒ වෙනුවට එය නිහඬ බව තුළින් ගලා එන අපූර්ව ප්‍රේමයක සුවඳ ස්පර්ශ කිරීමට සහෘදයාට ඉඩ හසර සලසා දෙයි.
නව යොවුන් අවධියේ පසු වූ සෙයිට් ද ජමිලාට රහසින් පෙම් කළේ ය. ඇය ඔහුගේ යොවුන් අවධිය චමත්කාරයෙන් පුබුදු කළ සොඳුරු අවිහිංසක ප්‍රේමය විය. එය ඔහු තුළ කොතරම් බලපෑමක් ඇති කළේ ද යන්නට ඔහුගේ සිතුවම සාක්ෂි දරයි. වියපත් වූ පසුව ද බොහෝ කාලයක් යන තුරුත් ඇය ඔහුගේ හදවතේ ගැඹුරේම තැන්පත් වී ඇති මතකයක් බවට පත්වන්නේ ඇය විසින් ඔහුගේ නව යොවුන් හදවත මත ඇතිකරන ලද එම ප්‍රබල බලපෑම නිසාවෙන්ම ය.
ජමිලා සාමාන්‍ය කිර්ගීස් කාන්තාවන්ගෙන් වෙනස් වූ තැනැත්තියක වූවා ය. විනෝදකාමී, තාරුණ්‍යයේ ජීවයෙන් පිරී ගිය ඈ අන් තරුණියන් අතර කතා බහටත්, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවටත් ලක්වූවා ය. සමාජය හා සම්ප්‍රදාය විසින් තමා වටා ඉදිකරන ලද වැටකොටු බිඳලමින් නිදහසේ පියාසර කිරීමට බිය වූ කිරිල්ලන් බඳු ඔවුන් ජමිලා වැනි නිහඬ විප්ලවකාරියකට ඊර්ෂ්‍යා කිරීම පුදුමයට කරුණක් නොවේ. අනම්‍ය සමාජ සංස්කෘතියක් තුළ ස්ත්‍රියකට මුහුණදීමට සිදුවන ඛේදනීය පීඩනයට මුහුණදීමට ජමිලාට ද සිදු විය. අනෙක් අතට ජමිලාව එවන් අසම්මතයක් කරා යොමු කිරීමට හේතු වූයේ ද ඇය වටා වූ සමාජය සහ පරිසරයයි. ඇයගේ සැමියා වුව ද ඈ ඔහුට හිමි වස්තුවක් ලෙස සැලකුවා විනා ලෙයින් මසින් හා විඳින විඳවන හැඟුමින් සමන්විත ජීවී වස්තුවක් ලෙස නොතැකුවේ ය. බිරිඳක ලෙස ඇයට හිමි තැන ලබා නොදුන්නේය. ජමිලා අසම්මතයකට පෙළඹෙන්නේ එවන් පසුබිමක් තුළ ය. ඇය තුළ සැඟවී සිටින නිහඬ විප්ලවකාරිය කළ එළි බසින්නේ එවන් පසුබිමක් තුළ ය. එනිසා ඇය වෙත ප්‍රේක්ෂකයාගේ සදය අනුකම්පාව එල්ලවීම නොවැළැක්විය හැකි කරුණකි.
ජමිලා සිනමාපටය පිළිබඳව විමසා බැලීමේදී අයිත්මාතව්ගේ මෙම සොඳුරු සාහිත්‍ය කෘතිය සිනමාවට නැගීම තුළ එහි සොඳුරු බවින් පිරිපුන් ජීවගුණය එලෙසින්ම ආරක්ෂා වී ඇතිදැයි යන ගැටලුව පැන නගී. සිනමාපටය නැරඹීමේදී සාහිත්‍ය කෘතියේ ඇති ජීවයෙන් පිරිපුන් භාවමය ගුණාංග සිනමා කෘතිය වෙත ප්‍රවිෂ්ට කිරීමේදී සිනමාකරුවා දැඩි උත්සහයක් දරා ඇති බවක් පෙනී යන නමුත් එය ප්‍රේක්ෂකයාට දැනවීම තුළ එතරම් විසල් ඵලදායී තත්වයක් කරා ළඟා වී නොමැති බවක් හැඟේ. ජමිලා වැනි සොඳුරු වෘතාන්තයක් තුළින් සිනමාකරණය තුළ මීට වඩා ඵල නෙළාගන්නට තිබුණා යැයි අයිත්මාතව්ගේ සාහිත්‍ය කෘතිය රසවින්දනය කර ඇති ප්‍රේක්ෂකයෙකුට ඇතැම් විට හැඟීයාමට ද ඉඩ ඇත.
නමුත් සමකාලීන කිර්ගීසියානු ජන ජීවිතය ද, සමාජීය තත්වය ද තාත්වික අයුරින් විදහා දැක්වීමෙහි ලා සිනමාපටය කිසියම් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව පැවසීමට හැකි ය. සිනමාපටය තුළ සංගීත භාවිතාවය ඉහළ මට්ටමක පවතින බව ද සඳහන් කළ යුතු ය. දනියාර්ගේ ගීතවල සංගීත සංයෝජනය ද, ඒවා රූපරාමු සමග ගලපා ඇති ආකාර ය ද ඉහළ සෞන්දර්යාත්මක අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබාදීමට සමත් වෙයි.
කෙසේ වුව ද “ජමීලා” වූ කලී සාහිත්‍යය තුළ මෙන්ම සිනමාව තුළ ද නොමැකෙන මතකසටහනක් බවට පත්වීමට අවැසි සෞන්දර්යාත්මක සහ භාවාත්මක ජීව ගුණයෙන් පිරිපුන් වෘතාන්තයක් සහ චරිතයක් වන බැවින් එයට මීටත් වඩා සාධාරණයක් සිනමාව තුළ ඉටුවන්නට තිබුණා යැයි යන්න මගේ පුද්ගලික අදහස යි.
නමුත් ජමීලා සිනමාපටය සොඳුරු වෘතාන්තයක් ලෙස තරමක් වෙනස් විදෙස් සිනමා රසවින්දනයක් ද, අයිත්මාතව්ගේ කෘති බිහි වී ඇති සමාජ පරිසරය පිළිබඳව සවිස්තරාත්මක සහ අවබෝධාත්මක අත්දැකීමක් ද ඔබට ලබාදීමට සමත්වනු ඇත.
1968 වසරේ එළිදක්වන ලද කළු සුදු සිනමාපටයක් වන “Jamilya” සිනමාපටය ඉරිනා පොප්ලව්ස්කයාගේ සිනමා අධ්‍යක්ෂණයකි. එයට හිමි වී ඇති IMDb අගය 7.5කි.
ඉඳින් රතු වූ දෙකම්මුලින් හෙබි රූමත් නිහඬ විප්ලවකාරියට මම සැබැවින්ම පෙම් කරමි. ඇය තුළ වූ ජීවයෙන් පිරිපුන් පණ ගැහෙන තාරුණ්‍යයේ ප්‍රතිමූර්තියට ද තමා පෙළූ සමාජ පරිසරය අභිබවා යමින් එයට අභියෝග කිරීමට ඇය තුළ වූ යෝධ ශක්තියට ද මම හිස නමා ආචාර කරමි. විශ්ව සාහිත්‍යය සහ සිනමාව නම් සුවිසල් කෘතියේ “ප්‍රේමය” නම් වූ පරිච්ඡේදය වර්ණ ගැන්වූ අපූරු සිතුවමකි. ඈත ස්ටෙප්ස් තෘණ භූමිය හරහා ගමන් කරන කුඩා තිත් දෙකක් වන් තරුණයෙකු සහ තරුණියකි. ඔවුන් ගමන් කළ මඟ තෙක් ඔවුන්ගේ පා සටහන් විහිදී ඇත්තේ සිය දහස් ගණනක් වූ සහෘදයන් හට ඔවුන් පසුපස ඒ මඟ ගමන් කරමින් ආත්මීය බන්ධනයක රස පහස විඳගැනීමට කරනා නිහඬ ආරාධනාවක් පරිද්දෙනි.
– හංසිනී කවින්දි (fb)

Film – Jamilya
Russian: Джамиля
Directed by – Irina Poplavskaya
Sergei Yutkevich
Written by – Chingiz Aitmatov
Starring –
Natalya Arinbasarova
Suymenkul Chokmorov
Nasreddin Dubashev
Aliman Zhankorozova
Altynbek Kenzhekov
Music by – Nikolai Sidelnikov
Cinematography – Kadyrzhan Kydrylaliyev
Edited by – Yelena Surazhskaya
Country – Soviet Union
Language – Russian

Leave A Reply

Your email address will not be published.

eighteen − three =