හුදෙක්ම ඇවිස්සීම සඳහා ය, හුස්ම ගන්න පොතක් කියවන එක අමාරු වැඩක්

සිතුවමකට පුලුවන්ද අපේ ජීවිතේ වෙනස් කරන්න? ටොමෝහිකෝ අමාඩාගේ “අණදෙන්නා මැරීම” යන සිතුවම මට හමුවුනේ ඉතාම අහඹුවකින්. සිතුවමකට සාමාන්‍යයෙන් නොයොදන නමක් මෙයට යොදා තිබීමම මාව කුතුහලයට පත්කළා.
සිතුවම පිරිලා තිබුනේ රුධිරයෙන්, සිතුවම පුරාම තිබුනේ ඇත්තම රුධිරය කියලයි මට හැඟුනේ. පුරාණ කාලයට අයත් කඩු දෙකක් අතැතිව පුද්ගලයින් දෙදෙනෙක් ඉතා භයානක ද්වන්ධ සටනක නියැලෙන අයුරු එහි සිතුවම් වෙලා තිබුනා. සටනෙහි නියැලෙන ඔවුන්ගෙන් අයෙක් මහලු වූ අතර අනෙකා තරුණ වියේ පසුවන්නෙක්. තරුණයාගේ කඩුව මහලු මිනිසාගේ ළය පසාරු කරලා. මේ හැමදේම සිතුවම ඇතුළේ කොච්චර ජීවමානව සටහන් වෙලාද කිව්වොත් මට ඒ චරිත මගේ අතින් අල්ලන්න පුලුවන් කියලා හිතුනා.
මේහැම සිදුවීමක්ම පටන්ගත්තේ සිතුවම හමුවුනාට පස්සේ. මෙන්ෂිකී ඔහුගේ ජීවමාන රූපය සිතුවමට නගන්න කියලා මගෙන් ඉල්ලීමක් කරන්නේ අදහාගන්න බැරි තරම් ඉහළ මුදලකට.
“නිශ්ශබ්දතාවය මා අවදි කළා. සමහර වෙලාවන් වලට එහෙම වෙනවා. නිහඩබව මකාදමා එක්වරම නැගෙන ශබ්දයක් කෙනෙක්ව ඇහරවන්න පුලුවන් වගේම එක්වරම ඇතිවන නිහඩබවකිනුත් කෙනෙක් නින්දෙන් අවදි කරන්න පුලුවන්. නින්දෙන් අවදි වූ මම මගේ අනෙක් පස තිබුනු ඔරලෝසුව දිහා බැලුවා. ඔරලෝසුවේ ඩිජිටල් තිරය මත වෙලාව 1.45 බව සටහන් වෙලා තිබුනා. එක්වරම මට සිහියට නැගුනේ මේ සෙනසුරාදා රාත්‍රී හෝ ඉරිදා පාන්දර 1.45 කියලා. “
ඇදහිය නොහැකි තරමේ නිහඩබව තුළින් මට ඇහුනේ සීනුවක ශබ්දයක්. මේ රෑ මැදියමේ බෙල් එකක් හඩවන්නේ කවුද? කොහේද? මේ ප්‍රශ්න දෙක මා වික්ෂිප්ත කළා. ඒ නිහඩබව ඉතාම ගැඹුරුයි. අඩුම තරමේ රැහැයි හඩක්වත් නොනැගෙන තරමට නිහඩය.හඩ එක්වරම නැවතුනා. කෙටි විවේකයකින් යළිත් ඇසෙන්නට පටන් ගත්තා. මේ මැදියමේ පුරාතන සීනුවක් නාද කරන්නා කවුරුන් විය හැකිද?
මුරකමීගේ අනන්‍ය භාෂා විලාෂය එක්ක ඔහු අවසානයටම 2017 අපිට දායාද කරපු පොත තමයි Killing Commendatore.
ලොවපුරා විසිර සිටින මුරකමි රසිකයන් මේ කෘතිය ගැන දෙපසකට බෙදී අදහස් දක්වනවා. කොහොම වුනත් මේ නවකතාව ඇතුලේ ඔහු කතාකරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මුරකමීගේ බහුතරයක් ප්‍රබන්ධ වල කතාකරන විදියටම සවිඥාණික මනස හා අවිඥාණික මනස කියන කාරණය මේ කතාවේදිත් දකින්න පුළුවන්. මිනිස්සු එකවරම අතුරුදන් වෙලා වෙන තැනකින් දවස් ගාණකට පස්සේ හමුවෙන සිද්ධි අපි දැකලා තියෙනවා. හුඟක් වෙලාවට මෙහෙම හමුවෙන අයට තමන් ඒ කාලය තුළදී කරපු දේවල් අමතකයි. එහෙමත් නැත්නම් ඔවුන් අමතක බව පෙන්වනවා. සුප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටි පවා එවැනි අත්දැකීමකට මුහුණදීලා තියෙනවා. මේ කතාවේ කතානායකයත් එවැනි අත්දැකීමකට නතු වෙනවා. ඒ අත්දැකීම හරිම අපූරුයි. නාසි හමුදාවක්, අබිරහස් ඝාතන තැතක්, සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් විසින් සඟවා තැබූ ඔහුගේ සිතුවමක්. ඔහුගේ අග්‍රගණ්‍යම නිර්මාණය වියහැකි සිතුවමක් ඔහු සඟවා තැබුවේ ඇයි? සිය බිරිඳගෙන් දික්කසාද වී එන තරුණ චිත්‍රශිල්පියාට මේ චිත්‍රයෙන් ඇතිවන බලපෑම කුමක්ද? ඔහුගෙන් අතිවිශාල මුදලකට ආලේඛය සිතුවමක් ඇඳගන්නට එන මෙන්ෂිකී කවුද? ඔහුගේ අරමුණ කුමක්ද? වයස දහහතරක මේරි නම් දැරිවිය හා තරුණ චිත්‍රශිල්පියා මුහුණදෙන අත්දැකීම කුමක්ද? සුදුපැහැ සුබාරු රථයෙන් එන සුදුපැහැ ඇදුම් හැදි මිනිසා කවුද? මේ සියල්ලටම වඩා සිතුවමෙන් බැස එන ‘අණදෙන්නා’ පවසන්නේ කුමක්ද? ත්‍රාසය,භීතිය, මායාව, කලාව, දාර්ශනික හා ඉතිහාසය යන සියල්ලම එකට කැටිකොට ලිවිය හැකි එකම ලේඛකයා හරුකි මුරකමි යන්න අතිශෝක්තියක් නොවන බව පවසන්නේ New York Times සඟරාවයි.
– රශ්මික මණ්ඩාවල (fb)

Leave A Reply

Your email address will not be published.

9 − eight =