“විශාල වන්දියක් ලැබුණොත් මේ වෙලාවෙ වටිනවා”

ජර්මානු යටත් විජිත පාලනය විසින් නැමීබියාව තුළ සිදුකරපු අපරාධ වලට ඇන්ජෙලා මර්කෙල් නෝනාගේ ආණ්ඩුව නැමීබියාවෙන් නිල වශයෙන් සමාව ඉල්ලා තිබෙනවා. එරට විසූ හෙරේරෝ හා නාමා ගෝත්‍රිකයන්ට එරෙහිව කරපු හිංසාවන් ජනසංහාරයක් විදියට ජර්මනිය විසින් පිළිගත්තේ අවුරුදු 100කටත් වැඩි කාලයකට පස්සේ.
ඒ අපරාධ වලට වන්දියක් විදියට ඇ.ඩො. බිලියන 1.3 ක් නැමීබියාවට ගෙවන බව ජර්මානු විදේශ ඇමතිතුමා අද පවසා සිටියා. ඒත් මේ ගෝත්‍රිකයන්ගේ වර්තමාන නායකයන් කියන්නෙනම් කරපු අපරාධ වල විදියට මේ දෙන්න හදන වන්දිය සොච්චමක් බව.
1904 ඉඳන් 1908 දක්වා අවුරුදු හතරක කාලයේ ජර්මානු කොලෝනියල් පාලනයට එරෙහිව නැඟී හිටපු හෙරේරෝ සහ නාමා ගෝත්‍රිකයන් 80000ක් විතර ඝාතනය වුණා කියලයි වාර්තාවල සඳහන් වෙන්නේ. තමන්ගේ ඉඩ කඩම්, හරකාබාන කොල්ල කෑමට විරුද්ධව ඒ ගෝත්‍රිකයන් කැරල්ලක් පටන් ගත්තා. ඒ යුගයේදී තමයි මේ මහා මිනිස් සංහාරය සිදුවුණේ. අදාල ගෝත්‍රිකයන් සමූලඝාතනය කරන්න ජර්මානු හමුදාවට නියෝග ලැබී තිබුණු බවයි පැවසෙන්නේ.
මේ අමානුෂික සංහාරයෙන් දිවි බේරාගන්න හැකි වෙච්චි ඉතුරු අය සහරා කාන්තාරයට අරන් ගිහින් වහල් කඳවුරුවල ගාල් කරන්න ජර්මානු හමුදාව කටයුතු කළා. ඒ ඇත්තන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් සූරාකෑවා. කාන්තාවන් හා ළමයින් ලිංගික සූරාකෑම් වලට ලක් කළා. ඒ වගේම සමහරුන්ව මීයො ගෙම්බො ගාණට දාලා වෛද්‍ය අත්හදාබැලීම් වලටත් යොදා ගත්තා. බොහෝ දෙනෙක් රෝග වලින් හා සාගින්නෙන් මියගියා.
2004 දී ජර්මනිය මුලින්ම මේ ගැන නිල සමාව ඇයැද සිටියා.දැන් වන්දියකුත් එක්කම සමාව ගන්න ජර්මනිය සූදානම් වීම මොනා උනත් හොඳ ආදර්ශයක්. දැන් ඒ රටවලින්නම් බිස්මාක් ගේ හිට්ලර්ගේ ගෝල බාලයෝ වඳ වෙමින් යනවා.
කළින් නිරිතදිග අප්‍රිකාව විදියට හඳුන්වපු නැමීබියාව 1894 සිට 1915 දක්වා කාලය තුළ පාලනය කළේ ජර්මානු අධිරාජ්‍යය විසින්. නමුත් පළමු ලෝක යුද්දේ අන්තිම කාලෙදි දකුණු අප්‍රිකානු හමුදාව විසින් ජර්මානු පාලනය පෙරළා දැම්මා. පස්සෙන් පහු දෙවන ලෝක යුද්ධෙ ආවම හිට්ලර්ගේ සෙල්ලම් එක්ක නිරිතදිග අප්‍රිකාවේ සමූලඝාතනය ලෝකයට අමතක වුණා.
මේ වගේම සිද්ධියක් රුවන්ඩාවෙත් වුණා.1994 දී රුවන්ඩා ආණ්ඩුවේ සහාය ඇතිව එරට හුටු ගෝත්‍රිකයන් විසින් ටුට්සි ගෝත්‍රිකයන්ව මරා දැම්මා. පොඩි ගාණක් නෙවෙයි.ලක්ෂ 8ක්. මේ ගාලගෝට්ටියේදී හුටු ගෝත්‍රිකයන්ට සහාය වීම ගැන ප්‍රංශයට චෝදනා එල්ල වුණා.
දින කීපයකට කළින් ප්‍රංශ ජනාධිපති මැක්රෝන් මහත්තයාත් යහ අතේ වැඩක් කළා. රුවන්ඩාවේ සිදු වූ ජනසංහාරය ගැන උන්නැහේ රුවන්ඩාවට ගිහින්ම සමාව ඉල්ලුවා. මර්කෙල් නෝනාත් ඒ වගේ වැඩ වලදී පස්සට යන්න කැමති කෙනෙක් නොවෙයි නිසා එතුමියත් තමන්ගේ යුතුකම් ඉටුකළා.
දැන් ඉතින් තියෙන්නේ බොරිස් ජොන්සන් මහත්තයාගෙ වාරේ. මේ වෙලාවෙ අපිත් ටිකක් සත්තමක් දැම්මොත් හොඳයි වගේ හිතෙනවා.
1818 ලංකාවේ ඌව වෙල්ලස්ස කැරැල්ලේදී ඌව පළාතේ හිටපු අවුරුදු 18 ට වැඩි සියළුම පිරිමින් ඝාතනය කරන්න කියලා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අණ ලබාදුන්නා කියල තියෙනවා. ඊට අමතරව ඌවෙ ජනතාවගේ දේපල විනාශ කරන්නත් බ්‍රිතාන්‍යය හමුදා කටයුතු කළානේ. ඒ හින්දා දැන් ඡන්ද කාලෙදි විතරක් සුද්දන්ගෙන් ගේම ඉල්ලුවා ඇති. දැන් ඉතින් අපටත් විශාල වන්දියක් ගෙවන්න කියලා සුද්දන්ගෙන් ඉල්ලන්න බදුල්ලෙන්, මොනරාගලින් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීතුමන්ලාට පිළිවන්.
පසු ගිය දවස් වල පලස්තීනයට ගහන කොට අපේ විදේශ ඇමතිතුමත් ඊශ්‍රායලයට අනතුරු හැඟෙව්වානේ. බොරිස් ජොන්සන් මහත්තයාත් ටිකක් කනබොන මනුස්සයා. බැරි වීමකින් හරි ඇන්ජලා මර්කෙල් නෝනටයි මැක්රෝන් මහත්තයාටයි වගේ ජොන්සන් මහත්ත්තයාටත් ප්‍රශ්ණය ගොඩින් බේරාගන්නට හිතක් පහල වෙන්නත් පුළුවන්. හැබැයි අපි කියන්න ඕන බම්බු සමාවකින්නනම් අපට වැඩක් නැති බව. බැරි වෙලාවත් ලොකු වන්දියක් එහෙම ලැබුණොත් මේ වෙලාවෙ ගොඩම තමයි. ඒක අහක යන කුම්බාණ්ඩ කරේ දා ගෙන ගාණක් කපා ගන්නවාට වැඩිය වටිනවා. අපේ බොක්කට ඇවිත් ලීක් කරගන්න නැව් තඩි වලින් වන්දි ලැබෙනකම් බලා ඉන්නවාට වඩා ඒක ආරක්ෂාකාරීයි.
එහෙම ලැබුණොත් ඉතින් නැමීබියාවේ දැන් ඉන්න හෙරෝරෝ ගෝත්‍ර නායකයා වගේ ඌවෙ වෙල්ලස්සෙ ඩිලාන් මහත්තයලා බාල්දිය අදින එකක් නෑ. වාසුදේව උන්නැහේට උනත් කට ඇරලා කියන්න පුළුවන් ඒ වන්දිය මේ වෙලාවෙ හරිම ප්‍රයෝජනයි කියලා.
– “ලෝකය එකම යායක්”

Leave A Reply

Your email address will not be published.

sixteen − 9 =