'මම රක්ත වර්ණ නම් වෙමි'

මම වගේම මගේ වයසේ ඉන්න බොහෝ දෙනෙක්ට වඩාත්ම හුරු සාහිත්‍යය වන්නේ රුසියානු සාහිත්‍යය යැයි කිව්වොත් ඒකට ගොඩක් අය තරහා වෙන එකක් නැහැ. ඒකට හේතුව සෝවියට් දේශය හා එහි ප්‍රගති ප්‍රකාශන මන්දිරය හැත්තෑ, අසූ ගනන්වල අපට පරිවර්තනය කරල දීපු රුසියානු පොත්. ඒවා ඉතා අඩු මිළකට ගන්න පුළුවන් කම තිබුනා වගේම සාහිත්‍යය රසයෙනුත් කිසිවකුට දෙවැනි උනේ නැහැ.
ඔය සාහිත්‍යය ධාරාවේ සරණකොට තමා ජනක ඉනිමන්කඩ සහෝදරයා අපිව බටහිර සාහිත්‍යය පැත්තට ඇදගෙන යන්නෙ. දැදිගම රුද්‍රිගු, පියසේන මානිල්ගම, පද්මහරෂ කුරනගේ වගෙ අය රුසියානු භාෂාවෙන්ම රුසියානු කෘති පරිවර්තනය කරලා පරිවර්තනය කරද්දි, අපේ ජ්‍යෙෂ්ඨයා වන සිරිල් සී ත් පරිවර්තනය කල බහුතරයක් රුසියානු පොත් වුනා. එහෙමට රුසියානු සාහිත්‍යය ජනප්‍රිය වෙච්ච තණ නිල්ලක තමා ඉනිමංකඩ සෙල්ලම් කරන්න එන්නෙ. ( මේක මම කියන එකක් නෙවි. ප්‍රවීන පරිවර්තක කුමාර සිරිවර්ධන මහතා විසින්, මංජුල සේනාරත්න මහතාගේ 12.12.12 පොත දොරට වඩින දවසේ මහවැලි කේන්ද්‍රයෙ වේදිකාවෙදි කියපු කතාවක්)
කොහොම හරි කියවන්නන් වන අපි රුසියානු සාහිත්‍යය වගේම බටහිර සාහිත්‍යයත් වැළඳ ගත්තා. ජෝන් ස්ටෙයින් බෙක්, ටෲමන් කැපොතෙ, යුස්ටයින් ගෝඩර්, ටෝනි මොරිසන් මෙන්ම ලතින් ඇමරිකන් ලේඛකයින් වන මාරියෝ වර්ගාස් යෝසා, ඉසබෙල් අයියන්දේ වගෙ ලොව පුරා සාහිත්‍යය ධාරාවල කරනම් ගසන කතුවරුන්/ වරියන් රැසක් විදර්ශන අපට හඳුන්වා දුන්නා.
හැබැයි ඒ අතර සිංහල පාඨකයාට මඟහැරුණු තව සාහිත්‍යයක් තමා අරාබි සාහිත්‍යයය. අරාබිය පිළිබඳව අපට තියෙන්නෙ බටහිර ජාතීන් අරාබියේ අසාධාරණයට ලක් වෙච්ච කාන්තාවන් ගැන ලියපුවා තමයි වැඩි හරියක්.
ඔය අතර තමා නොබෙල් සම්මාන ලාභී Orhan Pamuk ව විදර්ශන අපට හඳුන්වා දෙන්නෙ. ඒ Niluka Kadurugamuwa ප්‍රතිභාපූර්ණ පරිවර්තකයා ලවා පමුක් ගෙ Red Haired Woman ( රත් වරලැති ලිය නමින්) සිංහලයට පරිවර්තනය කිරීමෙන්. එතනින් නොනැවතෙන ප්‍රකාශකයා පමුක් ගේ තවත් දැවැන්ත කෘතියක් වන The Strangeness in my Mind කෘතිය ම’සිත් හසර එක්තරා නුහුරුවක නමින් අපට එවන්නෙ ප්‍රවීන පරිවර්තිකා ගංගා සුදුවැලිකන්ද ගෙ පරිවර්තනයක් ලෙසින්. මේ පොත් දෙකම තුර්කිය/ අරාබි ලෝකය ගැන කියනවා සෑහෙන දුරට. නමුත්, මම හිතන්නෙ අරාබි ලෝකයේ ඉතිහාසය පිළිබඳව වැඩිපුරම කතා කල පමුක් ගෙ පොත My Name is Red කියලයි.
My Name is Red නම් බර සාර, දැවැන්ත පොත අපට නැවතත් නිලූක කදුරුගමුවගෙ පරිවර්තන කාර්යයක් ලෙස, විදර්ශන ප්‍රකාශනයක් ලෙස ලැබී තියෙනවා.
මේ මාහැඟි ග්‍රන්ථය ප්‍රමාණයෙන් විශාල වගේම, අන්තර්ගතය පැත්තෙනුත් විශලයි.
පොතේ පසු පිටේ තියෙන සටහනේ තියෙන්නෙ මෙහෙම…
උපුටා ගැනීම
“1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, සිය ජීවිතයත් අධිරාජ්‍යයත් වරණනා කරනු පිණිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි. ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියෙකු මරා දැමුනු විට, මිනීමරුවා සොයා ගැනීම පිණිසත්, ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකුගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය බාර ප්‍රධාන ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමකද, ආදරය නිසා උපන් ඊර්ෂ්‍යාව පරවශ බවද, එසේත් නැත්නම් ආගමික උමතුවේද ?
අබිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්‍රාසය මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම විවරණය කරන මනරම් ආඛ්‍යානයකි”
උපුටා ගැනීම අවසන්.
අපට මේ හරහා හමුවන්නේ අපට නුපුරුදු නම්ය. දශක ගනනක් තිස්සේ අප සමාජයේ ඉන්නා මුස්ලිම් ආගම අදහන මිනිස්සු සිටියත් මේ නාමයන්, විශ්වාස අපට සෑහෙන ඈතය. එබැවින් පරිස්සමෙන් කියවිය යුතු ග්‍රන්ථයකි.
මේ පොතේ ගලා යාම ගැන මට මෙහෙම හිතෙයි.
මේක කඳු පල්ලම් ඇති පාරක බයිසිකලයක් පැදගෙන යන්නාක් මෙනි. කඳුවල දී වැර යොදා පදින්නට වෙන අතර, පල්මේ නිකං ඉඳගෙන යතහැකි.
සමහර රාත්‍රින් වල මේ පොත මම අතට ගන්නේ එකොළහට විතර. එක දිගට කියවලා වෙලාව බලදිදි එක පහුවෙලා. පිටු සියගනනක් පහුකරලා මටත් නොදැනිම. ( පල්ලම) තවත් විටෙක මහන්සියෙන් සෑහෙන වේලාවක් කියවලා වෙලාව බැලුවම ගතව ඇත්තේ විනාඩි දහයක් විතර. ( කන්ද)
පොත ගලා යන්නේ එලෙස.
ටී අන්ද්‍රාදි මහතා පරිවර්තනය කල පෙන්ගුවින් දිවයින පොතේ පොඩි සටහනක් එකතු කරලා පරිවර්තකයා කියනවා කියවන්න අමාරුනං ඒ⁣ කොටස අතහැර දාලා කියවන්න කියලා.
මගේ අවවාදය නම්, මේක කියවද්දි නං ඒ වැඩේ නොකරන ලෙසයි. මන්ද ඔබට අත් හැරෙන්නේ ඉතා වැදගත් කොටසක් විය හැකි බැවිනි.
මෙම බරසාර ග්‍රන්ථය මෙතරම්ම පහසුවෙන් කියවීමට ලැබෙන්නේ, ඉතාමත් ඉහල මට්ටමේ පරිවර්තකයෙකු අතින් එය සිදුට ඇති නිසාය. ( ම’සිත් හසර ගැන ගංගාටද ඒ ස්තූතිය හිමිවිය යුතුය)
මම කියවන්න ඉගෙන ගත්තෙ චිත්‍රකතා කියවලා. ඒක කුමාර කරුණාරත්න, කරුනාසේන ජයලත්, ඉලංගරත්න, ජයතිලක ඔස්සෙ ආවා. අමරසේකර, වික්‍රමසිංහ හා නවගත්තේගමට වෙනකං. කියවන්නා හැමවිටම වඩාත් උසස් කෘති කියවන්න පෙළඹිය යුතුයි. හුදු සරල රසවින්දනයට එහා ගිය දැණුමක් මෙන්ම රසයක් ගැඹුරු සම්භාවී සාහිත්‍යයෙන් ලඟා කරගත හැකිවෙයි.
එයින් මා කියන්නේ ‘ රක්ත වර්ණ’ අතිශය ගැඹුරු පෙතෙක් කියලා නෙමෙයි. විටෙක ත්‍රාසජනක චිත්‍රපටයක සිදුවීම් මෙන් ගලායන ස්වභාවයක් එහි තියෙනවා.
පරිවර්තනය කාර්යයේදී නිලූක ඉතා ඉවසීමෙන් එය සිදුකර ඇතැයි මට සිතුනි. එමෙන්ම විදග්ධ සාහිත්‍යධරයකු වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවා මෙහි පරිවර්තන කාර්ය මහත් ඇගයුමට ලක් කර තිබෙනු දුටිමි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන තනතුරක් හොඹවන ගමන් මෙවැනි සාහිත්‍යයික සේවාවකද නිරතවීම පිළිබඳව පාඨකයන් වෙනුවෙන් නිලූක කදුරුගමුව සොයුරාට අපේ ආචාර පුද කරන ගමන්, විශ්ව සාහිත්‍යයේ මාහැඟි ග්‍රන්ථ රැසක් අප වෙනුවෙන් පරිවර්තනය කරන්නට ලැබේවායි පතමු.
පොත කියවා අවසන් කල විට දැනුනේ My Name is Red හි විදර්ශන පරිවර්තනය කියවීමට ඉවසා සිටීම අපතේ නොගිය බවයි.
පොත කියවද්දි එක් අවස්ථාවක කාල ( චරිතයක්) සහ කලාගුරු උස්මාන් ( චරිතයක්) සුල්තාන්වරයාගේ මහා භාන්ඩාගාරයට ඇතු⁣ල්වෙයි. එය විස්තර කරද්දී කියවීම නතර කර කවරයේ ඡායාරූපය බැලුවේ එහි සඳහන් වන්නේ එම ස්ථානයම දැන් දැන ගැනීමට. සමන් ඉන්දික ලොකුකළුගේ ගේ මනරම් පිට කවරය කෘතියට මහත් එළියක් ලබා දී ඇත.
දිග සටහන අවසන් කරද්දී පාඨයාගෙන් ඉල්ලා සිටින්නේ පමුක් කියන්නේ මොනවාද කියා තේරුම් ගන්නා ලෙසයි. ඔහු යටි පෙලෙහි සඟවන ආර්ථික, දේශපාලනික, ආගමික කාරනා පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
ග්‍රන්ථ විස්තර ;
මුල් කෘතියේ නම : My Name is Red
කර්තෘ : ඔර්හාන් පමුක්
පරිවර්තිත නාමය : මම රක්ත වර්ණ නම් වෙමි
පරිවර්තක : නිලූක කදුරුගමුව
ප්‍රකාශනය : විදර්ශන (2021)

– රුක්මල් ගමගේ

Leave A Reply

Your email address will not be published.

3 × 5 =