ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අවසර නැති නැව කොළඹ අවසර ලැබුනේ කොහොමද?

ගින්නට ලක්වූ X-Press Pearl නෞකාව මීට ප්‍රථම තම වරායන්වලට ඇතුළු කර ගැනීම රටවල් දෙකක් විසින්ම ප්‍රතික්ෂේප කර ඇතිබවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.

www.splash247.com නමැති ජාත්‍යන්තර වෙබ් අඩවිය වාර්තා කරන්නේ එවැනි තත්ත්වයක් තුළදි ශ්‍රී ලංකා වරායට අදාළ නෞකාව ඇතුළු කිරිමට අවසර හිමිවී ඇති බවයි. මෙම www.splash247.com වෙබ් අඩවිය නාවික පුවත් වාර්තාකරණයේ යෙදෙන වෙබ් අඩවියකි.

මෙම එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් පිළිබදව නැව අරාබි මුහුදේ තිබියදී වාර්තාවී තිබෙන බව X-Press Feeders හි සිංගප්පුරුවේ සාමාන්‍යාධිකාරී ටිම් හර්ට්නොල් මාධ්‍ය වෙත පවසා තිබේ.

“ලංකාවට නාවික සැතපුම් දහස් ගණනකට කලින්, හරියටම කියනවා නම් අරාබි මුහුද ප්‍රදේශයේදී නැවේ කාර්යමණ්ඩලය වාර්තා කරලා තිබූනා යම් සාන්ද්‍ර අම්ල කාන්දුවක් සිදුවන බව. නැවේ ඩෙක් තට්ටුව මත ගබඩා කර තිබුණු කන්ටේනර් වලින් තමයි මෙය වාර්තා වෙලා තිබුනේ. මේක සම්පුර්ණයෙන්ම ඉතා අපරික්ෂාකාරී සහ ලාභදායි ඇසුරුම් ක්‍රම භාවිත කිරීම නිසා ඇති වූ තත්වයක්. ඉතින් මේ කාන්දු වීම දැකපු නැවේ කපිතාන්වරයා, වරායන් දෙකකින්ම අවසර ඉල්ලල තිබුණා මේ කාන්දු වීම සහිත බහාලුම් ගොඩබාන්න ඉඩ දෙන්න කියලා. නමුත්, ඔවුන් මේවා ගොඩබාන්න තියා වරායට ඇතුළු වෙන්නවත් අවසර දීල තිබුනේ නෑ. ඉන්දියාවේ බටහිර වෙරල තිරයේ පිහිටි හසිරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් තමයි මේ වරායවල් දෙක.”

තවදුරටත් මේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මේ වන විට නැවේ හිමිකරුවන් විසින් ලන්ඩන් P & I රක්ෂණ සංගමය මේ අනතුරෙන් පසුව මේ නැව සම්පුර්ණ හානියකට (A Total Loss) පත්වූ බව පිළිගනු ඇති බවට දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බවයි.

www.splash247.com වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට රටවල් දෙකකින් ඇතුළුවීම ප්‍රතික්ෂේප වුනු මේ නැවට කොළඹ වරාය ආසන්නයටම ඇතුල් වීමට අවසර දුන්නේ කවුදැයි මේ වන විටත් හදුනාගෙන නැහැ.

Leave A Reply

Your email address will not be published.

11 − ten =