සිහින හඹායෑම් සහ මිනිස් සබඳතා ගැන කියැවෙන ටමාගෝ – 2015

අපි ජීවිතයේ බොහෝ සිහින දකින්නෙමු. ඒවා හඹා යෑමටද උත්සාහ කරන්නෙමු. එහෙත් ඒ හැම සිහිනයක්ම අපට සැබෑ කරගැනීමට ලැබේද? සිහින හඹා යෑම වෙනුවෙන් සබඳකම් අතහැරීම කෙබඳුද වේදනාවක්ද? අනෙකාගේ සිහින වෙනුවෙන් තමන්ගේ ජීවිතය දරාගැනීම කවරාකාරයේ කැපකිරීමක්ද?
සොරා නව යොවුන් වියේ පසුවන යුවතියකි. ඇය සහ ඇගේ පියා ජීවත් වන්නේ ජපානයේ ඈත මුහුදුබඩ ගම්මානයක තානායමක් පවත්වාගෙන යමිනි. ඇගේ පියා තයිචි ය. බැලේ නර්තන ශිල්පිනියක් වන ඇගේ මව ඔවුන් අතහැර යුරෝපය වෙත ගොස් ඇත්තේ සොරා කුඩා වියේදීය.
මේ හැර යාමෙන් තයිචි සහ සොරා පසුවන්නේ දැඩි වේදනාවකිනි. සොරා බැලේ ඉගෙනගැනීමට ඉමහත් ආසාවක් දැක්වූ මෙන්ම බැලේ ශිල්පිනියක වීමට හීන මවන්නියකි. එහෙත් ඒ සඳහා ඇයට සිය පියාව අතහැර යාමට සිදුවේ. සොරා මේ සත්‍යයට මුහුණ දීමට අකමැතිය. එබැවින් ඕ රහසේ බැලේ නර්තනය පුරුදු වන්නීය.
මේ අතර සොරා ගේ මවගේ යෙහෙළියක වන සොනාකෝ ඔවුන්ගේ අවන්හල වෙත පැමිණෙන්නීය. ඇය විසින් සොරා ට හෙලි කරන රහසකින් පසු සොරා ගේ ජීවිතය වෙනස් වේ. ඒ කතාව ඔබට චිතපටය නරඹා දැනගැනීමට ඉතිරි කරමි.
චිත්‍රපටය තුළ භාවිත කරන තාක්ෂණික උපක්‍රමයන් වෙනස් වේ. විශේෂයෙන් පුද්ගල සිතුවිලි සහ සිහින පෙන්වීම සඳහා අධ්‍යක්ෂවරයා විශේෂ ප්‍රයෝග යොදා ගනී. වඩාත් වැදගත් වන්නේ මේ චිත්‍රපටයේ පියා වන තයිචි ගේ චරිතයයි. මුළු චිත්‍රපටය පුරාම ඔහු කතාකරන්නේ බෙස් ද්විත්තවයක් පමණි. ඒ සිය දියණිය තමන්ගෙන් සමුගෙන තෝකියෝව වෙත පිටව යාමට සැරසී සිටින මොහොතේ,
“යන්න කලින් මොනවහරි කාලා යන්න. තව වෙලාව තියෙනවා.”
සහ සොරා ව දුම්රියපළට ඇරලවා නික්ම යාමට සැරසෙන මොහොතේ පවසන
“සොරා, කොහේ ගියත් තමන්ගේ පරිස්සම ගැන බලාගන්න” පමණි.
එහෙත් චිත්‍රපටය පුරාම ඔහුගේ මුහුණෙන් පෙන්වන හැඟීම් ඉතා දරුණු ලෙස අපේ සිත් කම්පනය කරයි. එහෙත් තම බිරිඳ ඇයගේ සිහින හඹා යාමට ඉඩදී දියණිය ඇති දැඩි කරගන්නා ඔහු කෙතරම් නම් දේවල් දරාගන්නට ඇතිද? එවැනි කැපකිරීම් අපට කළ හැකිද?
– රශ්මික මණ්ඩාවල

 

Leave A Reply

Your email address will not be published.

seventeen + one =