නිරෝධායන නීතී කැඩීම, නැවේ බඩු එක්රැස් කළ අය පොලීසියෙන් සොයයි

ගිනිගන්නා “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිට ගොඩබිමට ගසාගෙන ආ ද්‍රව්‍යයන් එක්රැස් කර රැගෙන ගිය පුද්ගලයින්ට සොයා විමර්ශනයක් සිදු කරන බවපොලීසිය පවසයි.

රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති මොහොතක නිරෝධායන නීතීන්ට පටහැණිව කටයුතු කිරීම, මෙම නෞකාවේ ද්‍රව්‍ය පිළිබඳ අනතුරු අඟවා තිබූ මොහොතක මෙම ද්‍රව්‍යයන් එක් රැස් කිරීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

මේ අනුව වෙරළට එක් රැස් වූ පුද්ගලයින් මෙන්ම වෙරළට පැමිණි භාණ්ඩ එකතු කර රැගෙන ගිය පුද්ගලයින් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කරයි.
මේවන විටත් විශේෂ විමර්ශනයක් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.
නෞකාවේ සිට වෙරළට ගොඩගසන කිසිම දෙයක් ස්පර්ශ නොකරන ලෙස ඊයේ (25) බලධාරීන් මහජනතාව වෙත දැනුම් දුන්නේ නෞකාවෙහි කන්ටේනර්වල විෂ සහිත රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබීම හේතුවෙනි.

එහෙත් උස්වැටකෙයියාව සිට වයික්කාල දක්වා වෙරළ තීරයට එක් රැස් වූ විශාල පිරිසක් මෙලෙස එම ද්‍රව්‍ය එකතු කරමින් සිටිනු දක්නට ලැබිණි.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, මේවන විට නෞකාව තුළ තිබූ කන්ටේනර් සහ ඒවා තුළ ගබඩා කර තිබූ භාණ්ඩ මිශ්‍ර වී ඇති බැවින් අන්තරායකර භාණ්ඩ සහ අන්තරායකර නොවන භාණ්ඩ වෙන් කොට හඳුනාගැනීමේ හැකියාවක් නොමැති බවයි.

ඇය පවසන්නේ පරිසරයට, සමුද්‍ර ජීවීන්ට සහ වෙරළ තීරයට සිදුව ඇති හානිවලට අමතරව මෙවැනි ක්‍රියා හරහා අනවශ්‍ය ජීවිත හානියක් සිදුවිය හැකි බවයි.

Leave A Reply

Your email address will not be published.

one × three =