කොවිඩ් පාලනය නොකළාට ජනපතිට නඩු බ්‍රසීලයෙන් ලෝකයටම ආදර්ශයක් !

කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝට එරෙහිව විමර්ශනයක් සිදු වෙමින් පවතී.

ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම් නොසලකා හැරීම, කොරෝනා වෛරස වසංගතය පාලනය කර ගැනීමට නොහැකි වීම සහ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් එම විමර්ශනය සිදු වෙන බව විදෙස් මාධ්‍ය කියයි.

හිටපු හමුදා නිලධාරියකු වූ ජයිර් මෙසියාස් බොල්සොනාරෝ එරට 38 වැනි ජනාධිපතිවරයාය.

ආසාදිතයන් අතින් තුන්වන තැන :

මරණ අතින් දෙවැනි තැන

බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 155කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, බ්‍රසීලය මේ වන විට ලොව තුන්වන තැනට ආසාදිතයන් වාර්තා වූ රටයි. කොවිඩ්-19 මරණ අතින් බ්‍රසීලය ලොව දෙවැනි තැනයි. බොල්සොනාරෝගේ වසංගත පාලනය හා එන්නත් බෙදාහැරීමේ මන්දගාමී ප්‍රතිපත්තිය මේ වන විට දැඩි විරෝධතාවලට සහ විමර්ශනවලට තුඩු දී තිබේ.

සාරාංශයක් ලෙස මෙම විමර්ශනය තීරණාත්මක වෙයි කියලා සිතනවා. මොකද, මේ අවස්ථාවේ දී මේ විමර්ශනය මඟින්වත්, 4,00,000ක් මිය ගිය පසුවවත්, මූලික වශයෙන් සෞඛ්‍ය පද්ධතියේ ස්ථිර බිඳවැටීමෙන් පසුවවත් මහජන මතය වෙනස් කළ නොහැකි නම්, වෙන කිසි දෙයක් කරන්න බෑ.

වසංගතය මැඬලීම සඳහා සෞඛ්‍ය පහසුකම් සැපයීමට අපොහොසත් වීම, ලොක්ඩවුන් සීමාවන් පැනවීම සඳහා සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම, එන්නත්කරණය ප්‍රමාද කිරීම, විද්‍යානුකූලව තහවුරු නොවූ ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කිරීම, ෆයිසර් එන්නත ලබා දීමට ෆයිසර් සමාගම කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීම ඇතුළු චෝදනා රැසක් එරට ජනාධිපතිට එරෙහිව එල්ල වී තිබේ.

අවදානම බැහැර කිරීම සහ වැරැදි ආදර්ශය

ජනාධිපතිවරයා මීට පෙර වෛරසය “සුළු උණ රෝගයක්” ලෙස හුවාදක්වමින් එහි අවදානම බැහැර කළ අතර, එය පැතිරීම වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය සීමා පැනවීමේ අවශ්‍යතාව ද ප්‍රතික්ෂේප කළේ ය. වසංගතය රට තුළ දිගින්දිගටම පැතිර ගිය ද, තමා එන්නතක් ලබා නොගන්නා බව පවසමින්, ඔහු ජනතාවට වැරැදි ආදර්ශයක් ලබා දුන් බව ද එරට මාධ්‍ය වාර්තා ක⁣ර තිබිණි..

බොල්සොනාරෝ, කොවිඩ්-19 යනු “සුළු උණ තත්ත්වයක්” යැයි කියා සිටියා පමණක් නොව, මුඛ ආවරණ පැළඳීමට හෝ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට හෝ අවශ්‍ය නොවන බවට තම ආධාරකරුවන් දිරිගැන්වී ය.

ඔහු විශාල රැස්වීම්වලට සහභාගී වූ අතර, පළමු රැල්ලේ උච්චතම අවස්ථාවේ දී පවා මිනිසුන්ව වැළඳ ගත්තේය. වෛරසය පරාජය කිරීමට ඇති හොඳම ක්‍රම පිළිබඳ විද්‍යාත්මක කරුණු නැවත නැවතත් නොසලකා හැරියේ ය.

නිල පරීක්ෂණ

4,32,000කට අධික පිරිසක් මරණයට පත් වූ එරට කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට රජයට නොහැකි වීම පිළිබඳව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද නිල පරීක්ෂණයක් මේ වන විට සිදුවෙමින් පවතී. රටේ ඇමසෝනාස් ප්‍රාන්තයේ අගනුවර වන මනාවුස් හි මාරාන්තික ලෙස කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට එරෙහිව මූලික පරීක්ෂණයක් ද රජයේ නීතිපතිවරයා විසින් ආරම්භ කිරීමට කටයුතු කර තිබිණි. ජනවාරියේ දී නගරයේ රෝහල්වල ඔක්සිජන් හිඟ වූ අතර, එම නිසා ෆෙඩරල් රජයට රට පුරා සැපයුම් ප්‍රවාහණය කිරීමට සිදු විය. එක්සත් රාජධානියෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කොරෝනා ප්‍රභේදවලට සමාන – ඉක්මනින් පැතිරෙන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙම කලාපය තුළ හඳුනා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍ය එඩ්වාඩෝ පැසුවෙලෝට ද අදාළ වන මෙම මූලික පරීක්ෂණය මඟින් යම් වරදක් සිදුව ඇති බවට සොයා ගනු ලැබුවහොත්, වඩාත් විධිමත් පරීක්ෂණයක් (inquerito) පැවැත්වෙනු ඇත.

පැසුවෙලෝගේ ක්‍රියාකලාපය පිළිබඳ නිල විමර්ශනය මාස ගණනක් හෝ වසර ගණනක් ගත වුව ද, බොහෝ බ්‍රසීල ජාතිකයන් දැනටමත් නිගමනය කර ඇත්තේ, වසංගතය පුරාවට බොල්සොනාරෝ සහ ඔහුගේ ඇමතිවරුන්ගේ හැසිරීම අපරාධයට වඩා අඩු දෙයක් නොවන බවයි. සෞඛ්‍ය අර්බුදය පාලනයේ දී බොල්සොනාරෝ කළ විනාශකාරී හැසිරවීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෑත සතිවල දී දහස් සංඛ්‍යාත ජනතාවක් රට පුරා වීදි බැස ඇත.

ජන සංහාරයක්

එන්නත් ආනයනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමට රජයේ ප්‍රයත්නවල පෙරමුණ ගෙන සිටින සාඕ පවුලෝ හි ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා, බොල්සොනාරෝගේ වසංගත පාලනය “ජන සංහාරයක්” ලෙස  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. ඩෝරියා ඊ ළඟ ජනාධිපතිවරණයේ දී බොල්සොනාරෝට එරෙහිව තරග කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මහජන හදිසි අවස්ථාව හමුවේ ජනාධිපතිවරයාගේ හිතාමතා පැහැර හැරීම “බ්‍රසීලියානු ජනතාවට එරෙහි අපරාධයක්” විය හැකි බවත්, වසංගතය අවසන් වූ වහාම ඔහු ‘නියුරම්බර්ග් නඩු විභාගයකට’ මුහුණ දිය යුතු බවත් විශ්ලේෂකයෝ ප්‍රකාශ කර ඇත.

මේ අතර, ලතින් ඇමෙරිකාවේ වඩාත් ගෞරවනීය යුක්ති සංවිධානයක් වන සාඕ පවුලෝ සහ කොනෙක්ටාස් මානව හිමිකම් විශ්වවිද්‍යාලය විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ බ්‍රසීලයේ කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම හුදෙක් රජයේ ‘නොසැලකිල්ලේ සහ අකාර්යක්ෂමතාවයේ’ ප්‍රතිඵලයක් පමණක් නොවන බවත්, හිතාමතා කරන ලද ආයතනික උපායමාර්ගයක් බවත් ය. බොල්සොනාරෝට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට වන ඉල්ලීමට සහාය දක්වන බ්‍රසීල කොන්ග්‍රසයේ නියෝජිතයන් ගණන වැඩි වෙමින් පවතින බැවින්, බොල්සොනාරෝට අවසානයේ මෙහි අවදානම දැනී ඇති බව ද එරට මාධ්‍ය පවසයි. රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් පැවතීමත්, එන්නත් කිරීමේ උත්සාහයක් පෙනෙන්නට නැති වීමත් හේතුවෙන් ජනාධිපතිවරයාට තම තීරණ සාධාරණීයකරණය කිරීම දුෂ්කර වී තිබේ.

විවේචකයන්ට තර්ජන – සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රහාර

ඔහු තමාව විවේචනය කරන්නන් තර්ජනය කිරීම් මඟින් වළක්වා ගැනීමට උත්සාහ කර ඇති අතර, තම විරුද්ධවාදීන්ට පහර දීම සඳහා සමාජ මාධ්‍යවල තම ආධාරකරුවන් බලමුළුගන්වා ඇත. එමෙන්ම විරුද්ධ මාධ්‍ය තම රජයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළේ ය.

ඔහු තම රජයේ අසාර්ථකත්වයන් වසා ගැනීමට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වන පැසුවෙලෝ ද තනතුරින් පලවාහැරීමට උත්සාහ කළ අතර, එයින් ඇඟවීමට උත්සාහ කරනු ලැබුවේ, “අර්බුදය විනාශකාරී ලෙස හැසිරවීම සහ එන්නත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා පමණක් වගකිව යුතු බවයි”.

දෝෂාභියෝගයට මඟ

ඉදිරි මාසවල දී බ්‍රසීලයේ කොවිඩ්-19 ව්‍යසනය මීටත් වඩා දරුණු වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් බිය පළ කරන අතර, වසංගතයට රජය දක්වන ප්‍රතිචාරය පිළිබඳ මෙම පාර්ලිමේන්තු පරීක්ෂණය මඟින් ජනාධිපති ජයිර් බොල්සොනාරෝට දේශපාලන බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පරීක්ෂණය බොල්සොනාරෝට එරෙහි දෝෂාභියෝගයකට මඟපෑදිය හැකි බව ද, 2022 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේ දී එය ඔහුට අවාසිදායක තත්ත්වයක් ඇති කරනු ඇතැයි ද විශ්ලේෂකයෝ මත පළ කරති. නමුත්, බොල්සොනාරෝ පවසා ඇත්තේ, පරීක්ෂණය ගැන තමා කනගාටු නොවන බවයි.

මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහිව බොල්සොනාරෝ නැවත නැවතත් විවේචනාත්මක ප්‍රකාශ කර ඇති අතර, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන ඕනෑම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට ඔහු දිගින්දිගටම විරුද්ධ වී තිබේ. බොල්සොනාරෝගේ මෙම තීරණ නිසා බ්‍රසීලය දේශපාලන යුද පිටියක් බවට පත්ව ඇති බව එරට මාධ්‍ය පවසයි.

විශ්ලේෂකයන් පවසා ඇත්තේ, මෙවන් පරීක්ෂණයක් සඳහා සාමාන්‍යයෙන් මාස තුනක් පමණ ගතවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් මෙම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වීමට ඉඩ පවතින බවයි.

ජනගහනයෙන් 15%කට එන්නත්

සංඛ්‍යාලේඛනවලට අනුව මැයි 12 වන විට දළ වශයෙන් මිලියන 211ක් වන බ්‍රසීලයේ ජනගහනයෙන් 15%කට පමණ අවම වශයෙන් එක් කෝවිඩ් එන්නතක් ලබා දී ඇත. මේ අතර, චිලී රාජ්‍යය සිය ජනගහනයෙන් 46%කට ආසන්න සංඛ්‍යාවකට කෝවිඩ් එන්නතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇත. එය ලොව වැඩිම එන්නත් අනුපාතයක් පෙන්නුම් කරන රටකි.

බ්‍රසීලයේ එන්නත් කිරීමේ පහළ අනුපාතය නිසා දැනට රට තුළ සංසරණය වන කොරෝනා වෛරසයේ ප්‍රභේද 90කට වඩා වැඩි සංඛ්‍යාවකට සහ ඉදිරියේදී ඇති විය හැකි නව විකෘතිවලට එරට පුරා සහ එහි දේශසීමාවෙන් ඔබ්බට මිලියන සංඛ්‍යාත ජනතාවක් නිරාවරණය වීමේ අවදානමට ලක්ව ඇතැයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

2009දී එච්1එන්1 උණ වසංගතයට සාපේක්‍ෂව බ්‍රසීලයේ කෝවිඩ් එන්නත ලබා දීමේ ව්‍යාපෘතිය හාත්පසින්ම වෙනස් ය. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 92ක ජනතාවකට එම එන්නත ලබා දී ඇත. වර්තමානයේ  ඇති ප්‍රධාන වෙනස ලෙස එරට මාධ්‍ය වාර්තා කරන්නේ සෞඛ්‍ය අර්බුදයට සෞඛ්‍ය අංශ විසින් යෝජනා කරන විසඳුම් බාර ගැනීම බොල්සොනාරෝ ප්‍රතික්ෂේප කිරීම බවයි.

දැන් පාලනය කළ නොහැකියි

‘පෑන් ඇමෙරිකා’ සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේ පසුගිය සතියේ වාර්තා වූ ගෝලීය කෝවිඩ් ආශ්‍රිත මරණවලින් 40%ක්ම සිදුව ඇත්තේ ඇමෙරිකා මහද්වීපවල බවයි. කලාපයේ දැඩි සත්කාර ඒකකවලින් 80%කට ආසන්න ප්‍රමාණයක් දැනට රෝගීන්ගෙන් පිරී ඇති අතර, එක්සත් ජනපදයේ හා බ්‍රසීලයේ රෝගීන් වාර්තා වීම අඩු වී ඇති අවස්ථාවක දී පවා වෛරසය පැතිරීම “දැන් පාලනය කළ නොහැකි” බව එම සංවිධානයේ අධ්‍යක්ෂ කැරිසා එටියන් අනතුරු අඟවා ඇතැයි ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කළේ ය.

“මම හිතන්නේ මෑතක දී ඉන්දියාවේ තත්ත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී තිබෙනවා වගේම බ්‍රසීලයේ සංඛ්‍යා ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඇත්ත වශයෙන්ම රටේ සෞඛ්‍යය මාස ගණනක් තිස්සේ කඩාවැටෙමින් පැවතුණා”  යැයි සාඕ පවුලෝ හි ‘ගෙටුලියෝ වර්ගාස්’ පදනමේ සහකාර මහාචාර්ය ඔලිවර් ස්ටුවෙන්කල්  සී.එන්.බී.සී. වෙත ප්‍රකාශ කර තිබේ.

“මෙහි වඩාත් සිත්ගන්නාසුලු දේ නම්, එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යම් තාක් දුරකට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන විටත් සිය තීරණවලට දේශපාලන ලෙස වන්දි ගෙවමින් සිටීමයි. සාධක එකතුවක් මඟින් තරමක් ඉහළ දේශපාලන සහයෝගයක් රඳවා ගැනීමට බොල්සොනාරෝ සමත් වී සිටින අතර, තවමත් සිය තීරණවලට වන්දි ගෙවීමට සිදුව නැහැ. ඒ සිය වගකීම මඟහැරීමේ ඔහුගේ උපායමාර්ගය මේ වන තෙක් කැපී පෙනෙන ලෙස සාර්ථක වී ඇති හෙයින්” යැයි ස්ටුවෙන්කල් ප්‍රකාශ කරයි.

“සාරාංශයක් ලෙස මෙම විමර්ශනය තීරණාත්මක වෙයි කියලා මම සිතනවා. මොකද, මේ අවස්ථාවේ දී මේ විමර්ශනය මඟින්වත්, 4,00,000ක් මිය ගිය පසුවවත්, මූලික වශයෙන් සෞඛ්‍ය පද්ධතියේ ස්ථිර බිඳවැටීමෙන් පසුවවත් මහජන මතය වෙනස් කළ නොහැකි නම්, වෙන කිසි දෙයක් කරන්න බෑ. මට එය තීරණාත්මක දෙයක්. මට අනුව නම්, මෙය ලබන වසරේ මැතිවරණයට බලපාන කරුණක්.” ඔහු තවදුරටත් සඳහන් කරයි.

විද්‍යානුකූලව තහවුරු නොවූ ප්‍රතිකාර

මැලේරියාවට යොදා ගන්නා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් වැනි ඖෂධ කොරෝනා වෛරසයට එරෙහිව ඵලදායී බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට ලොව පුරා විද්‍යාඥයන් අනතුරු අඟවා තිබිය දීත්, කොවිඩ්-19ට ප්‍රතිකාරයක් ලෙස එම ඖෂධ යොදා ගැනීම⁣ට ඔහු විසින් වරින්වර බලපෑම් කර තිබිණි. මෙවන් තහවුරු නොකළ ප්‍රතිකාර සඳහා සහාය දීම ප්‍රතික්ෂේප කළ නිසාත්, සරල සමාජ දුරස්ථ ක්‍රමවේද හඳුන්වා දීමට උත්සාහ කළ නිසාත් ඔහු සෞඛ්‍ය ඇමතිවරුන් දෙදෙනකු මාස කිහිපයක් තුළ නෙරපාහරිනු ලැබුවේ ය.

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (Hydroxy chloroquine) කොවිඩ් ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමට බොල්සොනාරෝ කළ විද්‍යානුකූල නොවන බලපෑම්වලට විරෝධය දැක්වීම හේතුවෙන් වසරකට පෙර සේවයෙන් පහ කරනු ලැබූ බ්‍රසීලයේ හිටපු සෞඛ්‍ය ඇමති ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ද පාර්ලිමේන්තු පරීක්ෂණයට සාක්ෂි ලබා දීමට කැඳවා තිබේ.

මැන්ඩෙටා ප්‍රකාශ කළේ ප්‍රතිකාරයට විද්‍යාත්මක පදනමක් නොමැති බව බොල්සොනාරෝ හොඳින් දැන සිටි බවයි. එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද විද්‍යාත්මක සාක්ෂි නොමැති වුව ද,  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස යොදා ගැනීමට බලපෑම් කර තිබිණි.

දැන් ගන්නා තීරණවල ප්‍රතිවිපාක ඉදිරියේදී

“අවාසනාවකට මෙන් මෙය ඉතාමත් භයානක ආණ්ඩුවක්. නමුත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ හෙයින්, මේ මොහොතේ කළ හැකි දේ අල්පයි” යැයි රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි ‘ඉගරපේ’ ආයතනයේ සභාපති ඉලෝනා සාබෝ ප්‍රකාශ කර ඇත.

“දේශපාලන වශයෙන් බොල්සොනාරෝට මෙම පරීක්ෂණ මගින් ක්ෂණික බලපෑමක් ඇති වනු ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. හැබැයි, අද ගන්නා තීරණ අනාගතයේ ප්‍රතිවිපාක ඇති කරනවා” යැයි සාබෝ සඳහන් කර ඇත.

“ඔවුන් මෙයට වගකිව යුතු බවත්, මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබූ බවත් ඉදිරි⁣යේ දී ඔප්පු වේවි” යැයි සාබෝ පැවසී ය.

ෆයිසර් එන්නත මාස ගණනක් නොසලකා හැරීම

බ්‍රසීලයට කොරෝනා එන්නත් අලෙවි කිරීමට 2020 අගෝස්තු හා නොවැම්බර් මාස දක්වා මාස ගණනක් ෆයිසර් සමාගම දැරූ උත්සාහයට බ්‍රසීල බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවට ෆයිසර් සමාගමේ ලතින් ඇමෙරිකා කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් ප්‍රකාශ කර තිබේ.

ෆයිසර් සමාගම බ්‍රසීලයට එන්නත් අලෙවි කිරීම සඳහා වන යෝජනාව ගිය වසරේ සැප්තැම්බර් 12 වැනිදා බ්‍රසීල ජනාධිපතිවරයාට, බ්‍රසීල කැබිනට් මණ්ඩලයට සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපි යොමු කළ බව ඔහු පවසා ඇත. නමුත් ඊට මාස දෙකක් යනතුරු කිසිවෙකුගෙන්  ප්‍රතිචාර ලිපියක් නොලැබුණු බව ද ඔහු සඳහන් කර තිබේ.

බ්‍රසීල රජය අවසානයේ ෆයිසර් සමාගම සමග එන්නත් මාත්‍රා මිලියන 100ක් සඳහා පසුගිය මාර්තු මාසයේ දී ගිවිසුම්ගත වූ අතර එහි මාත්‍රා මිලියනයක් අප්‍රේල් මාසයේ දී එරටට ළඟා විය. එමෙන්ම තවත් මාත්‍රා 6,28,000ක් පසුගිය බදාදා බ්‍රසීලයට යවා තිබේ. තවත් මාත්‍රා මිලියන 100ක් ලබා ගැනීම සඳහා බ්‍රසීලය තවත් ගිවිසුමක් අත්සන් කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් අඟහරුවාදා නිවේදනය ක⁣ළේ ය.

සිය සතිපතා සජීවී අන්තර්ජාල විකාශනයක දී බොල්සෝනාරෝ ප්‍රකාශ කළේ, ෆයිසර් සමාගම විසින් මීට පෙර යෝජනා කළ ගනුදෙනුවට වඩා මේ වසරේ වඩා හොඳ ගනුදෙනුවක් බ්‍රසීලයට ලැබී ඇති බවයි●

 

වත්සලා මාරුතී
Leave A Reply

Your email address will not be published.

eighteen + five =