රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළ ගුවන්‍ යානා මංකොල්ලය

ලෝකයේ පළමු වරට ආණ්ඩුවක් විසින් මගී ගුවන් යානයක් හයිජැක් කරපු හැටි දැක ගන්නට පසුගියදා අපට හැකි වුණා. ග්‍රීසියේ සිට ලිතුවේනියාව දක්වා ගමන් කරමින් සිටි Ryanair ගුවන් යානයේ ගමන්ගත් මගීන්ට තමයි මේ අකරතැබ්බයට මුහුණපාන්න සිදුවුණේ.
උදේ පාන්දර 7.29ට ග්‍රීසියේ ඇතැන්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අහසට නැගුණු Ryanair යානය හරියටම ඊට පැය දෙක හමාරකට පසුව එනම් උදෑසන 9.59ට ලිතුවේනියාවේ Vilnius ගුවන් තොටුපළේ ගොඩබෑමට නියමිතව තිබුණා. යානයේ ගමන් මාර්ගය වැටී තිබුණේ ග්‍රීසිය, බල්ගේරියාව, රුමේනියාව, බෙලරූස් රාජ්‍යය ඔස්සේ ලිතුවේනියාවට.
නමුත් ගුවන් යානය බෙලරූස් ගුවන් සීමාව පසුකිරීමට මොහොතකට පෙර උදෑසන 9.46ට බෙලාරූස් ගුවන් හමුදා ප්‍රහාරක යානා කිහිපයක් Ryanair යානය වෙත ළඟාවුණා. යානයේ බෝම්බයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් වහාම එය බෙලරූස්හි මින්ස්ක් (Minsk) ගුවන් තොටුපළට ගොඩබස්වන ලෙස ගුවන් නියමුවාට අණ ලැබුණා. මේ බෝම්බ ඇටවීමේ චෝදනාව එල්ලවුණේ මේ දිනවල ගාසා තීරයේ ඊශ්‍රායලය සමඟ සටනක නියැලී ඉන්න හමාස් සංවිධානයට. ඒ අනුව මොහොතකින් යානයේ ගමන් මාර්ගය වෙනස් කර එය මින්ස්ක් ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට ගුවන් නියමුවා කටයුතු කළා.

නමුත් යානයේ තිබුණු බෝම්බයක් නැහැ. ඒ වෙනුවට හිටියේ බෝම්බයකටත් වඩා බෙලරූස් ආණ්ඩුවට හිසරදයක් වූ රෝමන් ප්‍රොතසෙවිච් නම් අවුරුදු 26ක තරුණයෙක්. රෝමන් කියන්නේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝගේ පාලනයට විරුද්ධව එළිපිටම ගේම ඉල්ලන සමාජ මාධ්‍යවේදියෙක්. අන්තර්ජාලයේ Telegram මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවිරෝධී චැනලයක් පවත්වාගෙන යන රෝමන් එරට ජනාධිපතිවරයාටනම් බෝම්බයකට වඩා හිසරදයක් වෙලයි තියෙන්නේ. එරට අවුරුදු 26ක් තිස්සේ බලයේ සිටින ජනාධිපතිවරයාට එරෙහිව පසුගිය වසරේ තරුණ තරුණියන් දහස් ගණනක් වීදි බැස්සවීමට රෝමන්ගේ චැනලයට හැකිවුණා.

රෝමන් හා ඔහුගේ පෙම්වතිය ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගැනීමෙන් පස්සේ බෙලරූස් ආණ්ඩුවේ බළලා මල්ලෙන් එළියට පැන්නා. බෙලරූස් රාජ්‍යයෙන් පැනගොස් ලිතුවේනියාවේ දේශපාලන රැකවරණය යටතේ සිටින රෝමන් ප්‍රොතසෙවිච් අල්ලාගැනීමට ජනාධිපති ලුකසෙන්කෝ ‘ගහපු ගේම” මේ වන විට යුරෝපා සංගමයේ නායකයන් විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබෙනවා.

තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කිරීමෙන් පසුව ඉතිරි මඟීන් සමඟ ගුවන් යානය නිදහස් කිරීමට බෙලරූස් බලධාරීන් කටයුතු කළා. හවස 6.26 ට Ryanair ගුවන්‍ යානය ලිතුවේනියාවේ Vilnius ගුවන් තොටුපළට ගොඩබැස්සා. ලිතුවේනියාවේ ගොඩබැසීමෙන් පසු රෝමන් යුවළට අමතරව යානයේ ගමන්ගත් තවත් තිදෙනෙකකුද අතුරුදහන් වී තිබුණේ ඔවුන් මින්ස්ක් ගුවන් තොටුපළෙන් බෙලරූස් වෙත ගොඩබැස තිබූ නිසා. බොහෝ විට මේ අය බෙලරූස් ඔත්තුකරුවන් වෙන්න පුළුවන්.

බලාපොරොත්තු නොවුණු අකරතැබ්බය නිසා යානයේ ගමන් ගත් සියළුම මඟීන් තැතිගැන්මට ලක්වී සිටි බව වාර්තා වෙනවා. ජාත්‍යන්තර නීති හා ගුවන් සේවා සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝනය කරමින් බෙලරූස් ආණ්ඩුව මේ නටපු නාඩගම හේතුවෙන් අන්තර්ජාතික ගුවන්සේවා ක්ෂේත්‍රය කැළඹීමකට ලක්ව තිබෙනවා. Ryanair ගුවන් ප්‍රධානියා මෙය හඳුන්වන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු ගුවන් මංකොල්ලයක් විදියට. තමන්ගේ රටට උඩින් පියාසරකරන ගුවන්යානයක් බලහත්කාරයෙන් බස්සවාගෙන එහි ගමන් කරන මඟීන් අත්අඩංගුවට ගන්න අනිකුත් රටවලුත් කටයුතු කළොත් ඉතින් ගුවන් යානා වලට අහසේ යන්න වෙන්නේ සිග්සැග් විදියට තමයි.
මේ සිදුවීම අපේ රටේ මාධ්‍ය වලට ඒ තරම් කටගැස්මක් නොවුනාට දැන් මෙය ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රමුඛ පුවත බවට පත් වී තිබෙනවා. මේක අපේ සේපාල ඒකනායක උන්නැහේගේ Alitalia මංකොල්ලය වගේ පුද්ගලික ගැටළුවක් නෙවෙයි. මේ සිදුවීම ලෝක දේශපාලනය තුළ තවමත් පවතින පැරණි සීතල යුද්ධයේ එක්තරා පැතිකඩක් නියෝජනය කරනවා.

බෙලරූස් හෙවත් බෙලොරුසියාව කියන්නේ පැරණි සෝවියට් සංගමයට අයත්ව තිබුණු ජනපද 15න් එකක්. 1990 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් එක්කම බෙලොරුසියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වුණා. එය මේ වන විට යුරෝපා සංගමයට අයත් රාජ්‍යයක්. ලුකසෙන්කෝ කියන්නේ බෙලරූස් රාජ්‍යයේ පළමු ජනාධිපතිවරයා. ඔහු පත්වුණේ 1994දී. අවුරුදු 26කට පස්සේත් ඔහු තමයි බෙලරූස් ජනාධිපති. යුරෝපා සංගමයේ රුසියාවට පක්ෂපාතීව කටයුතුකරන එකම රාජ්‍ය නායකයා විදියට තමයි ලුකසෙන්කෝ සැළකෙන්නේ. බොහෝ බටහිර මාධ්‍ය ඔහුව හඳුන්වන්නේ යුරෝපයේ අවසාන ඒකාධිපතියා විදියට.
Ryanair සිද්ධිය නිසා අළු යට ගිණිපුපුරු වගේ තිබුණු පැරණි සීතල යුද්ධයේ නටඹුන් ආයෙත් මතුවෙලා තිබෙනවා. ඇත්තටම යානය බෝම්බ තර්ජනයකට අහුවෙලා තිබුණු බවට බෙලරූස් බලධාරීන් දැන් පර සක්වල ගසා දිවුරුවත් බටහිර නායකයන් ඒක පිළිගනන්න සුදානම් නැහැ. හමාස් සංවිධානයත් කියන්නේ තමන්ට තිබෙන්නේ ඊශ්‍රායලය එක්ක ගැටළුවක් මිස අනුන්ගෙ වට්ටෝරු වලට සීනි කිරන්න තමන්ට උවමනාවක් නැති බව. නමුත් රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව් මහත්තයා මේ මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගැනීම සාධාරණීකරනය කළේ ඔහු රුසියානු හිතවාදී බෙලරූස් රාජ්‍යය අස්ථාවර කිරීමට යොදවා ඇති බටහිර රටවල් වල බළල් අතක් බව පවසමින්.

මේ වන විට යුරෝපා සංගමයේ අනිකුත් රටවල් බෙලරූස් රාජ්‍යයට ගුවන් ගමන් අත් හිටවා තිබෙනවා. ඒ වගේම බෙලරූස් ගුවන්යානා වලට තමන්ගේ රටවල ගොඩබැසීමද තහනම් කර තිබෙනවා.
– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

4 × 4 =