ගිනි ගනිමින් තිබෙන නෞකාවේ ගින්න නිවීමට ඉන්දියාවෙනුත් එයි

කොළඹට නුදුරින් මුහුදේ ගිනි ගනිමින් තිබෙන එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව, අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුවක් මේ වන විට පිටත් කර එවා ඇතැයි සටහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව එම නෞකාව සහ ගුවන් යානය පිටත් කර එවා ඇත.

මේ අතර ගිනිගැනීමට ලක්වූ නෞකාවෙන් ඉවත විසිවූ බහාලූමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ධීවරයන්ට සහ වෙරළාසන්න පදිංචිකරුවන්ට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙම නැවෙහි අද පෙරවරුවේ සිදු වූ පිපිරීමෙන් පසු ඉවතට විසිවූ බහාලූම් තුනක එපොක්සි රිසින් නැමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වන බවත් එම රසායනික ද්‍රව්‍ය මගින් ස්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවත් ධීවර දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නේ පිපිරීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් විශාල හානියක් සිදුවුවහොත් එය වැලැක්වීම සඳහා අවශ්‍ය හදිසි ආරක්‍ෂක පියවර ගැනීමේ සියලූම උපකරණ වරාය තුළ ස්ථානගත කළ බව ය.

Leave A Reply

Your email address will not be published.

two × one =