හැත්තෑහත් හැවිරිදි ගම්පෙරලිය

කොග්ගල මහා ප්‍රාඥයා යන විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහ මහතා 1914 සිට 1973 තෙක් නවකතා 14ක් රචනා කළා. ඒ අතුරින් ඔහුගේ තුන් ඈඳුතු නවකතාව වන ගම්පෙරලිය, යුගාන්තය හා කලියුගය සිංහල නවකතාවලියේ මුදුන්මල්කඩ සේ පිලිගැනෙනවා. ප්‍රථම යාථාර්ථවාදී නවකතාව ලෙස හැඳින්වෙන ගම්පෙරළිය මුලින්ම ප්‍රකාශයට පත් වූයේ 1944 වසරේ. ඒ අනුව එම කෘතිය වසර 77ක් පුරා මෙරට පාඨකයාට සමීපයි.
ගම්පෙරලිය නවකාතවට වස්තු විෂය වී ඇත්තේ අපගේ සමාජ පරිනාමයේ එක් අවස්ථාවක්. වැඩවසම් සමාජක්‍රමය බිඳවැටීම හා නව ධනවාදී සමාජ ක්‍රමයක නැඟී ඒම එම නවකතාවෙන් සාකච්ඡා කෙරෙනවා. මෙම සංක්‍රාන්ති සමයට ගොදුරුවන මිනිසුන් හට ඇතිවන ගැටලු හා ඒවාට ඔවුන් මුහුණ දෙන ආකාරය ගම්පෙරළියෙන් සාකච්ඡා කෙරෙනවා. පැරණි සමාජක්‍රමය බිඳ වැටෙන්නේද නව සමාජ ක්‍රමය බිහි වන්නේද අධිරාජ්‍යවාදීන්ගේ සංක්‍රමණය හේතුවෙන්. මාර්ටින් වික්‍රමසිංහයන් තම නවකතාව තුළින් එළි දැක්වූයේ ඓතිහාසික සමාජ වෙනස්වීම පිළිබඳ විවරණයක් ලෙසින්.

මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙම නවකතාව ලිවීමට පෙර වසර ගණනක් ඒ සඳහා සූදානම් වූ බවට සාක්ෂි හමුවෙනවා. ඔහු ගම්පෙරලිය නවකතාවට පාදක කරුණු ගොනු කර ඇත්තේ එය ප්‍රකාශයට පත් කිරීමට වසර 22කට පෙර සිටයි. විරාගයේ කතා තේමාව ලියා ඇත්තේ නවකතාව ලිවීමට වසර 24කට ඉහතදී. වත්මන් ලේඛකයන් දින දෙකෙන් තුනෙන් නවකතා ලියන්නට උත්සාහ කරන අවදියක වික්‍රමසිංහ මහතා කොතරම් කාලයක් තම හිතේ කැකෑරෙන වස්තු බීජය මෝරා යන්නට ඉඩ දුන්නාද යන්න මින් මනාව පැහැදිලි වෙනවා.
මාර්ටින් වික්‍රමසිංහ මහතා සමීපව ඇසුරු කළ, ඔහුගේ කෘති රැසක සෝදු පත් බැලූ වත්මනෙහි මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයට සම්බන්ධ දයාපාල ජයනෙත්ති මහතා සඳහන් කරන පරිදි කිසියම් නවකතාවක් ලිවීමට පෙර එම නවකතාවට අදාල කරුණු ‘ස්ක්‍රැප් බුක්‘ ලෙස හැඳින්වුණු මොනිටර් අභ්‍යාස පොතකට ගොනු කිරීමට ඔහු පුරුදුව සිටියා. ගම්පෙරලිය ලිවීමට වසර 22කට පෙර ඔහු පිටු 13ක් පුරා ‘ෆොර් අ නවල් ‘ යනුවෙන් එම නවකතාවට අදාල කරුණු ගොනු කර තිබුණා.
එම මුල් සටහනේ සඳහන් නම්ගම් කිහිපයක් නවකතාවේ පසුව වෙනස් කර තිබෙනවා. මුල් සටහනේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නම සඳහන්ව ඇත්තේ කුලචන්ද්‍ර මුහන්දිරම් ලෙසින්. පියල්ගේ නම මුල් සටහනේ සිරිමල් රණවීර ලෙස යොදා තිබුණා. මුල් සටහනේ සඳහන් අනුලා, මාතර හාමිනේ වැනි චරිත නොවෙනස්ව පැවැති අතර ජිනදාස සිංහලේ ගිය ගමනද එලෙසම සටහන් කොට තිබූ බව ජයනෙත්ති මහතා සඳහන් කරනවා.

ගම්පෙරලියේ එන බොහෝ චරිතවල ස්වභාවය මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඥාතීන් හා හිතවතුන්ගේ චරිත ඇසුරින් ගොඩ නැඟුණු බව පැවසෙනවා. කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය ගොඩ නඟා ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ පියාගේ සහ ඔහුගේ සොහොයුරාගේ චරිත ලක්ෂණ අනුව යැයි වික්‍රමසිංහ මහතා වරක් සඳහන් කර තිබුණා. වික්‍රමසිංහ මහතාගේ පියා පොලිස් ඔපිසර කෙනකු වු අතර පියාගේ වැඩිමහලු සොහොයුරා ගමේ ආරච්චි මහත්තයා. කයිසාරුවත්තේ මුහන්දිරම් නිර්මාණය වූයේ මේ දෙදෙනාගේම චරිත ලක්ෂණ මුහු කිරීමෙන්. මාතර හාමිනේ ඔහුගේ මෑණියන්ගේ චරිත ලක්ෂණ අනුව ගොඩ නැඟුණක්. ඔහුගේ මව ගමේ හැමටම කාරුණිකව සැලකූ කාන්තාවක්, ඕනෑම කෙනෙකුගේ දුකට ඇය පිහිට වුණා. එම කරුණාවන්ත කම ඔහු මාතර හාමිනේට ආරෝපණය කළා.

ජිනදාසගේ චරිතය නිර්මාණය වූයේ වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු සොහොයුරියකගේ සැමියාගේ චරිතය ඇසුරින්. එම මස්සිනා ව්‍යාපාර කටයුතු සඳහා සිංහලේ යනවා. එහිදී මැලේරියාව වැළඳුණු ඔහු රත්නපුරේ රෝහලකදී මිය යනවා. ඔහුගේ සිරුර හඳුනාගෙන එහි භූමදාන කටයුතු සිදු කර ඇත්තේ වික්‍රමසිංහ මහතා හා තවත් ඥාතියෙක්. ඔහු ඒ ඇසුරින් ජිනදාසගේ චරිතය නිර්මාණය කර තිබෙනවා. සැබෑ ජිනදාසගේ පුතුන් දෙදෙනකු බිබිල ප්‍රදේශයේ තවමත් ජීවත් වන බවට ජයනෙත්ති මහතාට තොරතුරු ලැබී තිබෙනවා.
මා ලේඛකයකු වූ හැටි කෘතියේ ගම්පෙරළිය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා මෙලෙස කියා තිබෙනවා.‘ ‘ගම්පෙරලියේ ප්‍රධාන චරිතයක් නොමැත. එහි ඇත්තේ කාලය හා කයිසාරුවත්තේ පවුලයි. එහි ඇති සිදුවීම් එකට බැඳ ඇත්තේ කාලය විසින් මිස හේතුපල අනුව නොවේ. යැයි වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.
ගම්පෙරළිය නවකතාව 1944 සිට මේ දක්වා මුද්‍රණවාර 58ක් එළිදක්වා තිබෙනවා. ගතවූ දසවසර තුළ එහි පිටපත් 120,000ක් අළෙවි වුණා. වික්‍රමසිංහ මහතාගේ කෘති අතුරින් වැඩිම අලෙවියක් ඇත්තේ මඩොල් දූව හා අපේ ගම යන කෘතිවලටයි. ඊට පසු වැඩිම අලෙවියක් ඇත්තේ ගම්පෙරලියට..වසර 77 තිස්සේ නොකඩා අපේ පාඨකයන්ගේ නොමඳ ආදරය දිනාගනිමින් ගම්පෙරළිය තවමත් අලෙවි වනවා. ගම්පෙරලිය, යුගාන්තය හා කලියුගය යන නවකතා ත්‍රිත්වයම ඉංග්‍රීසි බසටද පෙරළි ලොව පුරා පාඨකයන් අතරට සමීප වී තිබෙනවා. ඒවා ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුත් දොස්තර රංග වික්‍රමසිංහ විසිනුයි.

(මෙම ලිපිය සැකසීම සඳහා දේශය පුවත්පතට කුසුම්සිරි විජේවර්ධන සොහොයුරා ලියු ඇතැම් තොරතුරුද පාදක කරගත්තෙමි.)
– ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා (තීර්ථ යාත්‍රිකයා)

 

 

Leave A Reply

Your email address will not be published.

17 − 4 =