ගිනි ගැනීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු නැවේ ගින්නකින් දෙදෙනෙකුට තුවාල

කොළඹ වරාය ආසන්නයේ නවතා තිබූ ගිනි ගැනීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද (25) පෙරවරුවේ ඇති වූ පිපිරීමකින් එහි කාර්ය මණ්ඩලයේ 2 කු තුවාල ලබා ඇති බව නාවික හමුදාව පවසයි.

මෙලෙස තුවාල ලැබූ දෙදෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ. පිපිරීමෙන් ඇතිවූ ගින්න පාලනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් රසායනික පවුඩර් නෞකාවට හෙලා ඇත.

ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනි ගැනීමකට ලක්විය.
එදා සිට මේ දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වරාය අධිකාරිය එක්ව එම ගිනි ගැනීම පාලනය කිරීමට කටයුතු කරමින් සිටියි.

මෙම නැව සම්බන්ධයෙන් නෙදර්ලන්ත විශේෂඥා කණ්ඩායමක් පරීක්‍ෂණ කරමින් සිටි අතර ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද මෙම නැවෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව කටයුතු කරමින් සිටියේය.

Leave A Reply

Your email address will not be published.

two × three =