ප්‍රභාත් ජයසිංහගේ ‘රස පොළොවෙහි’ රස බිඳක්

ප්‍රභාත් ජයසිංහගේ ‘රස පොළොව’ කෙටිකතා සංග්‍රහය පාඨකයන්ට අලුත් සාහිත්‍ය අත්දැකීමක්. ඒකට මූලික හේතුව වන්නෙ ‘කෙටිකතා චක්‍ර’ නම් කෙටිකතා උපශානරයට මේ කෘතිය අයත් බවට කතුවරයා කරන හැඳින්වීම. සයිමන් නවගත්තේගමගෙ ‘දඩයක්කාරයාගේ කතාව’ වගේ කෘතියක් කෙටිකතා චක්‍ර ගනයට ඇතුළත් කරන්න පුළුවන් බව ‘රස පොළොවෙහි’ පසු සටහනෙහි කතුවරයා ම සඳහන් කරනවා. එහෙත් නවගත්තේගම එවැනි නාමකරණයක් සිදුකර නැහැ. එමනිසා ‘කෙටිකතා චක්‍ර නමැති ශානරීය අරමුණින්’ යුතුව සිංහල බසින් රචනා කෙරුණ පළමු කෙටිකතා එකතුව ‘රස පොළොව’ වෙන්න තියන ඉඩකඩ වැඩියි.
කතුවරයාගේ පසු සටහනට අනුව කෙටිකතා චක්‍ර නමැති සාහිත්‍ය විධියේ මුඛ්‍ය ලක්ෂණය වෙන්නෙ මේ කෙටිකතා, එකකට එකක් සහසම්බන්ධී ව මෙන් ම අසම්බන්ධී ව ද කියවන්න පුළුවන් වීම. කතාවෙන් කතාවට කේවල අර්ථයක් සේ ම කතා සියල්ල එකතුව තනි සමස්තාර්ථයක් ද නැගීම.

මේ කතා සියල්ලේ ම ඉන්නෙ එකම චරිත ටිකක්. එකම කල්පිත ප්‍රදේශයකයි හැම දෙයක් ම සිදු වන්නෙ. විවිධ තැන්වල විවිධ මිනිසුන්ගෙ විවිධ සිදුවීම් වෙනුවට එකම ප්‍රදේශයක එකම පිරිසක එකිනෙක බැඳුණු විවිධ සිදුවීම් සහිත කතා එකතුවක් කියන සමස්ත ආකෘතික රූපයමත් එක්තරා සිතීමක් අප ඉදිරියට ගේනවා… ඒක හරියට මනුෂ්‍ය භාවයේ නිරපේක්ෂී ස්වරූපයක් පිළිබඳ අදහසක් වගෙයි…
රස පොළොව කියන යෙදුමේ මූලය අග්ගඤ්ඤ සූත්‍රයෙන් එන්නක්. ලෝකාරම්භක තත්ත්වයක් පිළිබඳ අදහසක් එහි ගැබ්වෙලා තියනව. එහෙමත් නැත්නම් ප්‍රකෘති ස්වභාවයක්
හැඟවුම්කරණය කරනව. රස පොළොව කෙටිකතා සංග්‍රහය පුරාම මේ ප්‍රකෘතියෙන් ඈත් වීම නිසා මිනිසා පෙළෙන ඓතිහාසික ආතතිය දක්නට ලැබෙනවා. ඊළඟට පවුල නමැති ව්‍යුහය මිනිස් නිර්මිතයක් බව අමතක කොට එය ස්වාභාවිකකරණය කොට ඇති ඓතිහාසිකත්වය මේ කතා පෙළ පුරා ම මතු කර දක්වනවා…
මේ නිශ්චිත මොහොතේ ලාංකේය සමාජ අඩවියේ මතුපිට පොළොව කොයි වගේ ද යන්න පෙන්නන්න හැකි හොඳ කෙටිකතාමය බසක් කතුවරයා හොයාගෙන තියන බවත් කිව යුතුමයි. අවසන් කතා දෙක එහි උච්ඡතමයන්.
රස පොළොව නැවුම් සාහිත්‍ය අත්දැකීමක් වෙන්නෙ ශානරීය නැවුම් බව වගේම මනුශ්‍යයාගේ කතාවත් ව්‍යුහයන්ගේ කතාවත් මේ මොහොතේ අපගේ කතාවත් අලුතින් ලිවීම නිසයි…
-ලහිරු කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

12 + seven =