‘යාස්’ සුළි කුණාටුව දැඩි වේ: රටපුරා වැසි: ගංගා 5ක ජල මට්ටම ඉහළට

දින කිහිපයක සිට පෙර දැනුම් දීම් කළ පරිදි ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ සුළි කුණාටුවේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (25) දිනයේත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවළ තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ තත්වය මත බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක, 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා පැවසීය.
ගංගා පහක ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින අතර රත්නපුරේ ප්‍රදේශයේ ගංවතුර තත්වයක් පවතියි.

‘යාස්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් හෙට (26) දිනයේදී ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වාර්තාවේ.

දිවයින හරහා පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම හේතු නිසා ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.

5 × two =