පාලකයන් ජනතාවට කෙසේ සැලැකිය යුතු ද?

රටක යම් පුද්ගලයෙක් රටෙහි නායකයා වන්නේ ප්‍රදානය කිරීම මත ඇතිවන බලය තුළිනි. බහුතර ප්‍රජාවක් පිළිගැනීම හේතුවෙන් ඔහු හෝ ඇය නායකත්වයට පත් වේ. තවත් විටෙක නායකත්වයට ඇතමුන් පත් වන්නේ අවස්ථානුකූල එළැඹුම මඟිනි. රටේ සිටින නායකයා හදිසියේ මිය යාමක දී එම තනතුර පිරවීමට කෙනකු පත් වේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ මරණයත් සමඟම ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති වීම එයට උදාහරණයකි.

අතීතයේ දී ඇතැම් රටවල යම් තැනැත්තකු නායකත්වයට පත් වී ඇත්තේ, බිය, ත්‍රාසය මත ඇති වන බලය උපයෝගී කරගෙන ය. ප්‍රාථමික ගෝත්‍ර ජන සමාජ, වහල් සමාජ ක්‍රමය හා ත්‍රස්තවාදී මැර කණ්ඩායම්වල නායකත්වය මේ ගණයට අයත් වන අතර, ප්‍රදානය කිරීම මත බලයට පත් වූ ඇතැම් කුහක නායකයෝ ක්‍රමක්‍රමයෙන් තම බලය තිර කර ගන්නා පිණිස හා බලය රැක ගන්නා පිණිස වහල් සමාජ ක්‍රමය තුළ, ගෝත්‍ර සමාජ තුළ නායකයන් ලෙස බිය හා ත්‍රාසය පතුරුවමින් තම බලය පවත්වාගෙන යමින් සිටියහ.

රට සහ තම ප්‍රජාව ගැන කැක්කුමක් හා හැඟීමක් ඇති නායකයන් නිරතුරුවම; තම ප්‍රජාවට අනාගතයේ දී මුහුණ දීමට සිදු වන ව්‍යසන මුල දීම හඳුනා ගැනීම හා ඒවාට විසඳුම් නිර්මාණය.
තම ජනතාවගේ මානසික සුවය, ආර්ථික සංවර්ධනය ඉහළට ඔසවා තැබීමට කටයුතු කිරීම.
සාධාරණ තීන්දු ගැනීම.
ජනතාවගේ භාරකරු තමා බව විශ්වාස කිරීම.

තම රටේ සම්පත් රැකගැනීම (වනාන්තර, ගංගා, භූමිය, මුහුදු හා ගුවන් සීමා සහ සතා සිවුපාවුන් එයට අයත් වේ) වෙනුවෙන් මූලිකත්වයක් දක්වන අතර මෙවැනි නායකයින් කිසිදා අසාධාරණ ලෙස තම බලය රැක ගැනීමට කටයුතු කරන්නේ නැත.

ප්‍රදානය කිරීමෙන් නොඑසේ නම් පත් කර ගැනීමෙන් බලයට පත් වී ඇති ලොව ප්‍රථම නායකයා  මෝසෙස් ය. මිසරයේ වසර ගණනාවක් වහල්භාවයෙන් දුක්විඳිමින් සිටි තම ජනතාව පාරාවෝ රජුගෙන් නිදහස් කරගෙන තම ජනතාවට පොරොන්දු වූ පරිදි නිදහස් පළාතකට රැගෙන එන්නේ මොහු ය. එය ‘පොරොන්දු දේශය’ නම් විය. මේ වෙනුවෙන් මෝසෙස් මහත් අභියෝගවලට මුහුණ දුන්නේ තම ජනතාව ගැන තම හදවතේ තිබූ දයාව හා අනුකම්පාව නිසාය. අතිභයානක අවදානමක් ගැනීමට මෝසෙස්ට ශක්තීන් වූයේ තම ජනතාවගේ සෝ සුසුම් හා වේදනාවන් ය. මෝසෙස් මිසරයෙන් තම ජනතාව බේරා ගත් නිසා තමන්ගේ  නායකයා වන ලෙස එම ජනතාව මෝසෙස්ගෙන් ඉල්ලීම් කර ඇත.

වර්තමානය වන විට ජනතාව විසින් පත් කර ගත් ් බොහෝ නායකයන්ට සිදු වී ඇත්තේ කුමක් ද?

ඔවුහු තම බලය සුරක්ෂිත කර ගැනීම සඳහා සදාචාරයෙන් තොර වූ ද, ඉතා අශික්‍ෂිත වූ ද ඕනෑම ක්‍රියාවක් සිදු කරන අතර, තම අධිකාරීත්වය මධ්‍යගත කරමින් සිටිති. ප්‍රදානය කිරීම මත බලයට පත් වූ මොවුහු බිය සහ ත්‍රාසය මත බලයේ සිටින ගෝත්‍රික නායකයන් බවට පරිවර්තනය වෙමින් සිටිති. ගෝත්‍රික සමාජයේ හා වහල් සමාජයේ මෙන් වහලු‍න් හා ගෝත්‍රිකයන් තළා පෙළන ආකාරයට රටේ වැසියන්ට පීඩා කිරීමට ඇතැම් නායකයන් පියවර ගෙන හමාර ය.

නීතිය තම අතට ගැනීම.
විරුද්ධ මත දරන්නන් බියට පත් කිරීම.
බුද්ධි ගලනයන්ට ඉඩ සැකසීම.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ නිදහස සීමා කිරීම.
අසාධාරණ ලෙස සිරගත කිරීම්.

සිදු කරමින් සිටිති. ඇතැම් නායකයන් තමා වටා, තම පවුල වටා හා ගජ මිතුරු කැළ වටා බලය තබා ගැනීමට වෙහෙසෙන්නේ ඔවුන් කර ඇති අපරාධවලින්බේරීමට ය. නමුත්, කවදා හෝ දිනක සත්‍යය ජය ගනු ඇත.

 

■ බී. එම්. සුසන්ත පියතිලක

 

Leave A Reply

Your email address will not be published.

15 − 5 =