“අනාගත ඉලක්ක සහිතව කණ්ඩායම් සැලසුම් කල යුතුව ඇත”

දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වය ට පත්කර ගත යුතු වන්නේ , කෙටිකාලීන ව පමණක් බවද 2023 ලෝක කුසලානය සඳහා අප වෙනත් නායකයකු තෝරා පත් කරගත යුතු බවද ඒ සඳහා කාලය එළබෙන තෙක් පමණක් තාවකාලික ව දිමුත් නායකත්වය දැරීම ප්‍රමාණවත් බවත් මා ලියූවේ 2019 අගෝස්තුවේ දීය. දැන් ඒ කියූ කතාව සැබෑ වී ඇත. සිදුවිය යුත්තේ ද මෙයම වේ. නමුත් තමන් නායකත්වය ට පත්වීමට පෙර සීසීකඩ ව සිටි කණ්ඩායම යම් ආකාරයකට ඒකරාශි කරවමින් , කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන මට්ටමට රැගෙන ඒමේ ගෞරවය නිතැතින්ම දිමුත් ට හිමිවිය යුතුය . නායකයකු ලෙස ප්‍රාතිහාර්ය පෙන්වීම ට අසමත් වුවද ඔහු අසාර්ථක නායකයකු ලෙස මා දකින්නේ නැත. එමෙන්ම ආරම්භක පිතිකරුවකු ලෙසද ඔහු සාර්ථක බවද , සැලකිය යුතු අවස්තා ප්‍රමාණයකදී යම් ආරම්භයක් ලබාදීමට ඔහු උත්සාහ ගත් බවද කිවයුතුමය . ඒ සියල්ල වෙනුවෙන් ඔහුට පලමුව අපගේ ස්තූතිය පිරි නැමිය යතු බව මගේ අදහසයි. එසේනම් ඔහුව ඉවත් කළයුත්තේ ඇයි දැයි ගැටලුවක් මතුවීමට ඉඩ ඇත.

අප වර්තමානයේ ක්‍රීඩා කරන්නෙ modern cricket වේ, එමෙන්ම සෑම විටකදීම අනාගත ඉලක්ක සහිතව කණ්ඩායම් සැලසුම් කල යුතුව ඇත. ඒ අනුව අප ඉදිරියේ ඇති පලමු අභියෝගය 2023 ලෝක කුසලානයයි. ඒ වනවිට වඩා වේගවත් කණ්ඩායමක් අප විසින් සූදානම් කර ගත යුතුව ඇත. අප ආදර්ශයට ගත යුත්තේ මේ සඳහා එංගලන්තය , ඉන්දියාව වැනි ලකුණු 350 ඉක්මවා නිරන්තරයෙන් ලබා ගත හැකි කණ්ඩායම් වේ. ඒ සඳහා දිමුත් ගේ ක්‍රීඩා විලාශය මෙන්ම වයසද නොගැලපෙන බව මගේ පෞද්ගලික අදහසයි. නමුත් ඔහු ඉවත් කිරීමට පෙර අප විසින් වෙනත් අයකු පුරුදු පුහුණු කරගෙන සිටිය යුතුබව මා විශ්වාස කළෙමි. නමුත් කොවිඩ් තත්ත්වයන් හේතුවෙන් ඒ සඳහා ප්‍රමාණවත් අවස්තා අපට අහිමි වී ගියේය .
මේ තත්ත්වය යටතේ දි එනම් නව නායකයකු පුහුණු කර නොගත් තත්ත්වයක් යටතේ දිමුත් ව ඉවත් නොකල යුතුව තිබුනේ යැයි යම් අයෙකුට සාධාරණ තර්කයක් ගොඩනැඟිය හැකිය . මෙම තත්ත්වය තුල මා එම තර්කය බැහැර නොකරන බවද , එය පිලිගැනීමට පවා සූදානම් බවද කිවයුතුය. නමුත් මේ වනවිට දිමුත් නායකත්වයෙන් මෙන්ම කණ්ඩායමෙන් ද ඉවත් කර නව කණ්ඩායමක් ගොඩනැඟීම ට පාලනාධිකාරිය තීරණය කර අවසන් ය. මේ තීරණ නැවත වෙනස් නොවන්නේ යැයි කිසිදු විශ්වාසයක් නොමැති නමුත් එය එසේ යැයි සිතා ඉතිරි ටික ලියමි.

2019 මා ලියූ ලිපියේ මා සඳහන් කර සිටියේ ද දිමුත් නායකත්වයෙන් ඉවත් වූ පසු ඒ සඳහා සිටින ලඟම ක්‍රීඩකයා කුසල් ජනිත් පෙරේරා (KJP) බවයි. නමුත් ඒ සඳහා ඔහු නුසුදුසු බවත් ඔහුගේ නොහැකියාව LPL හිදී උවමනාවටත් වඩා පිළිඹිබු වූ බවත් බොහෝදෙනා මේ වනවිට මත පල කරමින් සිටියි. නමුත් LPL යනු හුදෙක් විනෝදාස්වාද සැණකෙළිය ක් පමණක් බවත් එය එතරම් ගැඹුරින් සැලකිය යුතු නොවන බවත් මා සිතමි. එමනිසා ම එහිදී දක්නට තිබුණු ඔහුගේ දුර්වල නායකත්වය පිලිබඳව සාකච්ඡා කලයුතු නැතැයි සිතමි.
මේ මොහොතේ KJP නායකයා වුවද මෙය අනාගතයේ දි දික්වැල්ල නායකත්වය ට පත් කිරීමෙ අරමුණින් සිදුවන ක්‍රියාන්විතයක් බව මගේ හැඟීමයි. නමුත් එහි හොඳ හෝ නරක මේ මොහොතේ දි කතා කිරීම අවශ්‍ය නොවන බව මා සිතමි.
කෙසේ හෝ පාලක මණ්ඩලය නව නායකයකු යටතේ නව මුහුණුවරක් සහිත කණ්ඩායම ක් ඉදිරිපත් කරන්නෙ නම් ඒ සඳහා රටේ සිටින හොඳ ම නායකයා නායකත්වය ට පත් කලයුතු බව මගේ හැඟිමයි . ඒ අනුව මේ මොහොතේ ඒ සඳහා හොඳම සුදුස්සා දසුන් ශානක බව අවිවාදිත ය. එවිට පැන නගින ප්‍රශ්නය ඔහුට මේ වනවිට කණ්ඩායමේ ස්ථිර ස්ථානය ක් නොමැති වීමය. එහි කිසිදු ගැටලුවක් මා නොදකිමි. කණ්ඩායමේ ස්ථිර ස්තානයක් නොමැති ව එක්වරම නායකත්වය ට පත්වී සැලකිය යුතු සාර්ථකත්වය ක් දැක්වූ ක්‍රීඩකයන් උවමනාවටත් වඩා සිටියි. ඒ සඳහා ආසන්න ම උදාහරණය දිමුත් කරුණාරත්න යි. ඊට අමතරව Darren Sammy , Jason Holder , George Bailey , වැන්නන් උදාහරණ ලෙස දැක්විය හැකිය.

වර්තමාන යේ දකුණු අප්‍රිකානු T20I කණ්ඩායමේ නායකත්වය දරණ Heinrich Klassen ට හෝ එක්දින කණ්ඩායමේ නායකත්වය දරණ Temba Bavuma ට ද ස්තාන ය ස්තිර දැයි සැක සහිතය. එම නිසා එය සිතිය යුතු කරුණක් නොවේ. ඔහු නිසි නායකයකු නම් ඔහු අනිවාර්යයෙන් තමන් ගේ ස්තානය තහවුරු කරගනු ඇති, එය අප ප්‍රශ්නයක් කරගත යුතු නැත.
George Bailey ඔස්ට්‍රේලියානු T20I කණ්ඩායමේ නායකත්වය ට පත් වන්නේ කිසිදු ජාත්‍යන්තර තරඟයක අත්දැකීමක් නොමැති ව වන අතරම, ඒ මොහොතේ දි ඔහු ආසන්න ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත තරඟවාරයේ දී පවා සැලකිය යුතු දක්ශතාවයක් දක්වා නොතිබුණි . නමුත් T20I පිටියේ අතරමං වී සිටි ඔස්ට්‍රේලියානු වන් යම් ආකාරයකට ගොඩ නැඟීමට ඔහු සමත්වූවා පමණක් නොව T20I හා එක්දින කණ්ඩායම් තුල තමන්ගෙ ස්තානය ඉතා හොඳින් ස්තාවර කරගැනීමට ද ඔහු සමත්විය. Darren Sammy බොහෝවිට කණ්ඩායම තුල ක්‍රීඩා කලේම ඔහු නායකයා වීම නිසාම පමණි . ඔහු ගේ ක්‍රීඩා ව ඒ තරම් දුර්වල වූ නමුත් ඔහු නායකයකු ලෙස පෑ විකුම් විස්තර කලයුතු නැතැයි මා සිතමි. එමනිසා නායකත්වය වෙනම සැලකිය යුතු කරැණකි.

අප නව කණ්ඩායම ක් ගොඩ නැඟීමට බලාපොරොත්තු වන්නෙ නම් මේ මොහොතේ එහි නායකත්වය ට වඩාත් සුදුස්සා දසුන් බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අවශ්‍ය නම් KJP යටතේ යම් කාලයක් ක්‍රීඩා කර ඉන්පසුව නායකත්වය පැවරීමද සිදුකල හැකිය. නමුත් අපිට දීර්ඝ දැක්මක් තිබිය යුතු බව මා විශ්වාස කරන බැවින් එලෙස නිතර නායකයින් මාරු කිරීම නුසුදුසු බව මගේ හැඟීමයි .
ඒ අනුව KJP ගේ නායකත්වයෙන් හා කුසල් මෙන්ඩිස් ගෙ උපනායකත්වයෙන් යුතු කණ්ඩායම කෙසේ වියයුතු දැයි මා සිතන ආකාරය පහත පරිදි විස්තර කරමි. මේ උත්සාහ කරනුයේ අතිශය සටන්කාමී කණ්ඩායම ක් ගොඩ නැඟීමටය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ එක් ආරම්භක පිතිකරුවකු ලෙස දනුෂ්ක ගුණතිලක නිතරගයෙන් පත් වෙන බැවින් අනෙක් ස්තානය සඳහා අති විශාල තරඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය . නායක KJP ට අමතරව අවිශ්ක ප්‍රනාන්දු , නිරෝශන් දික්වැල්ල , පැතුම් නිශ්ශංක වැනි පිතිකරුවන් රැසක් තරඟ වදින නමුත් මා ඒ සඳහා තෝරා ගනු ලබන්නේ භානුක රාජපක්ෂ වේ. අප උත්සාහ කල යුත්තේ Roy – Bairstow පන්නයේ ආරම්භක සුසංයෝගයකි. ඒ නිසා මොවුන් දෙදෙනා ඒ සඳහා අනිවාර්යයෙන් යොදා ගතයුතු බව මා සිතමි.

අංක 3 ස්තානය අවිවාදයෙන් DDS ට හිමිවිය යුතුව ඇත. කණ්ඩායමේ සිටින වඩාත් ම පරිනත ස්තාවර පිතිකරුවා වශයෙන් දැන් වත් ඔහුට මෙම ස්තානය ලබා දිය යුතුව ඇත. ටෙස්ට් පිටියේ ඔහුගේ තරඟ වාර්තාව අනුව අඛණ්ඩව ඔහුට සැලකිය යුතු කාලයක් මෙම ස්තානයේ පහරදීමට සැලැස්වීමෙන් ඔහුට ලෝකයේ ප්‍රබලතම පිතිකරුවකු බවට පත්වීමට අවස්තාව ඇති බව ඉතා පැහැදිලිය . අංක 3 ස්තානය ලැබී නොබෝ දිනකින් ඔහු එක්දින පිටියේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වෙනු ඇතැයි මා විශ්වාස කරමි.
අංක 4 සඳහා ද අති විශාල තරඟයක් ඇති නමුත් එය උපනායක කුසල් මෙන්ඩිස් ට මේ මොහොතේ භාරකිරීමට සිදුවන්නේ ඔහු උපනායකයා නිසාම පමණි.

නව නායක KJP මෑතකදී ඉතා එඩිතර ප්‍රකාශ කිහිපයක් නිකුත් කර තිබීම ඇත්තටම සතුටු දායක වන අතරම එම නිසාම කණ්ඩායමේ දුර්වලම ස්තානය භාරගනිමින් නායකයකු ලෙස අභියෝගය තම කර මතට ගෙන අංක 6 ස්තානය භාරගන්නා ලෙස ආරාධනා කරමි. මෙය Pollard පන්නයේ ක්‍රීඩකයකු වීමට ඔහුට ඇති අවස්තා ව ලෙස මා දකිමි. ඒ සඳහා ඔහුගේ ශාරීරික යෝග්‍යතාව යේ ගැටලු පවතී නම් ඒවා නිවැරදි කර ගැනීම ඔහුට සහ කණ්ඩායමේ භෞතචිකිත්සක වරුනට භාරය.
අංක 7 ස්තානය රටේ සිටීන වේගයෙන් ම පහරදෙන්නා ට හිමිවිය යුතුය. ඒ සඳහා මගේ යෝජනාව ශම්මු අශාන් වේ. ඔහුට අවස්තාවක් ලබාදීමට තව දුරටත් පමාවිය යුතු නොවන බව මගේ අදහසයි.

අංක 8 ස්තානයේ වනිඳු හසරංග ක්‍රීඩා කරන බැවින් මෙය ඉහළ ආක්‍රමණශීලී පිතිකරණ බලමුලුවක් වනු ඇත.
එවිට දසුන් ශානක ට හා නිරෝශන් දික්වැල්ල ට මොකද වෙන්නෙ යැයි ඔබට සිතෙන්නට ඉඩ ඇත. දික්වැල්ල ට භානුක වෙනුවට ආරම්භක පිතිකරණයේ යෙදීම මෙන්ඩිස් වෙනුවට අංක 4 ස්තානයේ ක්‍රීඩා කිරීම හෝ ශම්මු අශාන් වෙනුවට අංක 7 ස්තානයේ ක්‍රීඩා කිරිම සිදු කල හැකිය , නමුත් එම කිසිදු ස්තානය ක් සඳහා පලමු තෝරාගැනීම ඔහු නොවන බව කිවයුතුය.
දසුන් ශානක සඳහා ඉතිරි වී ඇති අංක 5 ස්තානය ලබාදිය හැකිය . නමුත් ඔහු එම ස්තානයේ ක්‍රීඩා කිරීමට තරම් පිතිකරණ හැකියාව ක් ඇත්දැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. නමුත් මගේ අදහස ඔහුට පන්දු යවන්නකු වශයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් ඔහු පිතිකරුවකු වශයෙන් අංක 5 හි ස්තාවර වීමට උත්සාහ කලයුතු බවයි. එසේ නොවුනහොත් ඔහුට කණ්ඩායමේ ස්තානයක් නොමැති වනු ඇත.

අවිශ්ක ප්‍රනාන්දු ,ඕශධ ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර මෙන්ම නිරෝශන් දික්වැල්ල ද කණ්ඩායමෙන් පිට සිටීම කණ්ඩායමේ සියලු පිතිකරුවන් ට අති විශාල පීඩනයක් ඇති කිරීම ඉතා හොඳ තත්ත්වයක් බව මා අනුමාන කරමි. මොවුන් ට අමතරව චරිත් අසලංක ද හැකි ඉක්මනින් සංචිතය ට ගෙන්විය යුතුය . එවිට පිතිකරණය සඳහා ඇති තරඟය වඩාත් තිව්‍ර වන බැවින් එය වඩාත් ප්‍රතිඵල දායක වනු ඇත.
පැතුම් , අශේන් වැනි ස්තාවර පිතිකරුවන් කණ්ඩායමේ සිටිය යුතු බව ට යමෙකු සිතිය හැකි නමුත් අපගේ ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ පන්දු වාර 50 ක්‍රීඩා කිරිම නොව ලකුණු 300+ ලබාගැනීම බැවින් පලමු තෝරාගැනීම් විය යුත්තෙ ඉහත දැක්වූ ක්‍රීඩකයන් බව සිතමි.
පන්දු කරණයේ දී අප සතු ප්‍රබලතම පන්දු යවන්නා වනිඳු හසරංග වන නමුත් නිවැරදි පීඩනය ක් අනෙක් අන්තයෙන් නොලැබෙන්නේ නම් ඔහු ඇතැම් අවස්තා වන් හීදි අසරණ වන බව දක්නට තිබුණි. එමනිසා වනිඳු ට වඩා පන්දු ව දඟ කැවීමට හැකි ක්‍රීඩකයකු කණ්ඩායම තුල සිටිය යුතුය , ඔහු ලක්ශාන් සඳකැන් , ප්‍රවීන් ජයවික්‍රම හො ලසිත් ඇඹුල්දෙණිය වීමට ද ඉඩ ඇත. රමේශ් ප්‍රනාන්දු ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි.
වේග පන්දු යැවීමේ කාර්‍ය්භාරය චමීර දුශ්මන්ත ට හා කසුන් රාජිත ට නිල වශයෙන් බාර දියයුතු බව සිතමි. අසිත ප්‍රනාන්දු , විශ්ව ප්‍රනාන්දු ,ධනංජය ලක්ශාන් , චාමික කරුණාරත්න , බිනුර ප්‍රනාන්දු හා අනෙකුත් වේග පන්දු යවන්නන් අතරින් සුදුස්සන් තෝරා ගත යුතුව ඇත. වේග පන්දු කරණය මුලසිටම ආරම්භ කර දියුණු කර ගත යුතුව ඇත. එය පිලිබඳව විස්තර කිරීමට දෙයක් නැත්තෙ එය මුල සිටම ආරම්භ කර වැඩි දියුණු කලයුත්තක් බැවිනි. යම් විභවයක් සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිටින බැවින් ඔවුන් අතරින් අවම වශයෙන් තර්ජනාත්මක ව පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු ගොඩ නඟා ගැනීම අපගේ අරමුණ විය යුතුව ඇත.
එයට අමතරව දසුන් ශානක ආරම්භක පන්දු යවන්නා වශයෙන් පන්දු වාර කිහිපයක් යැවීමට ධෛර්යය උපදවා ගැනීමද , දනුෂ්ක ගුණතිලක partnership breaker කෙනෙක් වශයෙන් දියුණු කර ගැනීම මෙන්ම DDS පන්දු වාර 10 ම යැවීමට සූදානම් ව සිටීම අතිශයින් වැදගත් වේ.
නිවැරදි කළමණාකාරණකින් මෙම කණ්ඩායම ගොඩ නැඟුවහොත් අපට අනාගතය පිලිබඳව බලාපොරොත්තු තැබිය හැකි නමුත් ශ්‍රි ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ව එය වසාගත් බූවල්ලන් ගෙන් මුදවා නොගතහොත් ඒ සියල්ල අහිංසක හීන පමණක් වනු ඇත. සත්‍ය වශයෙන් ම වැඩි ඉඩක් ඇත්තේ එසේවීමට බව මගේ විශ්වාසයයි.

– Cricket with Charitha

 

 

Leave A Reply

Your email address will not be published.

ten + seventeen =