ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු එක්දින තරඟය

බංගලාදේශයේ ඩකාහිදී ඊයේ (23) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා බංග්ලාදේශ ලකුණු 33 ක ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගය වෙනුවෙන් තවත් ලකුණු 10 ක් ද එකතුකර ගත්තේය.

(කඩුලු 2 කට ලකුණු 80 ක් ලෙසින් තිබූ ලංකා පිලේ ලකුණු පුවරුව සකිබ් සහ මෙහෙදි හසන් දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් ඕවර 9 ක් ඇතුළත කඩුලු 6 කට 102 ක් සේ වෙනස් විය.)

ඊයේ තරඟය ගැන කෙටියෙන් (Cricket with Charitha)

  1. කණ්ඩායමක් සැලකිය යුතු වෙනස්වීමකට ලක් කල සැණින් ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැක. ඒ නිසා ඒ තරඟය පරාජය වීම ගැන කලබල විය යුතු නොමැති බව සිතමි. නැවත දිමුත් , චන්දි , ඇන්ජි, සුරා කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව තවමත් විශ්වාස කරමි. ඇත්තටම මං පෞද්ගලිකව දකින්නේ සුරංග ලක්මාල් ගෙ අඩුව පමණි. ඔහු ඊයේ තරඟයේ සිටියේ නම් එය සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ඉඩ තිබුණි. නමුත් තීරණය කර සිටින්නේ නවකයින් ගෙන් කණ්ඩායම ක් ගොඩ නැඟීම නම් එය අමතක කල යුතුව ඇත.

  2. කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක ට ආත්ම විශ්වාසයක් නොමැති කමද, කණ්ඩායමේ තමන් ගෙ ස්තානය ස්ථිර නොමැති කම ද පිලිබඳව ඇති අවිශ්වාසය ඉතා හොඳින් පෙනෙන්නට තිබුණි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පලමුව මොවුන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය ලබා දිය යුතුය . ක්‍රීඩකයන් ට බනින්න එපා ඕන නම් මට බනින්න කියලා ඔහු කල ප්‍රකාශය ඉතා ඉහලින් අගයන අතර ඔහු ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින වඟ ක්‍රීඩකයන් ට ඒත්තු යා යුතු බව සිතමි. ඊයේ කුසල් පෙරේරා , මෙන්ඩිස් , දසුන් වැන්නන් තමන් ගෙ සුපුරුදු ක්‍රීඩා විලාශය අනුගමනය කලා නම් තරඟය දිනන්නත් ඉඩ තිබුණි .

  3. මා නැවත , නැවතත් කියන්නෙ අප භානුක රාජපක්ෂ සහ ශම්මු අශාන් කණ්ඩායම ට රැගෙන ආ යුතු බවය. චරිත් අසලංක අනිවාර්යයෙන් සංචිතය තුල සිටිය යුතුය .

  4. කණ්ඩායමේ රැඳෙන්නට නම් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කල යුතු බව, ඒ සඳහා තමන් ගෙ දක්ශතාවය විවෘත කරගත යුතු බව ක්‍රීඩකයන් ට ඒත්තු ගැන්විය යුතුය . තරඟය පරාජයන් කරා රැගෙන යමින් රැස් කර ගන්නා ශතක , අර්ධ ශතක කිසිසේත් සැලකිල්ලට නොගන්නා බවත්, කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සාහ කරමින් රැස්කරගන්නා ලකුණු 25, 30 ක් පවා ඊට වඩා සැලකිල්ලට ගන්නා බව පැහැදිලි ව තේරුම් කල යුතුය . එනම් තමන් ගෙ ක්‍රීඩා ව කණ්ඩායමේ ජයග්‍රහණය ට කෙතරම් වැදගත් වුවාද යන්න පමණක් ම සැලකිල්ලට ගන්නා බව පැහැදිලි ව අවධාරණය කල යුතුය .

  5. දසුන් තමන් ට ලැබුණු අනර්ඝ අවස්තාවක් අහිමි කර ගත් බවක් දක්නට ලැබුණි. ඔහුට අංක 5 ක්‍රීඩා කිරීමට දෙමින් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්තාවන් ලබා දිය යුතුය. අංක 5 අර්ජුන රණතුංග , ස්ටිව් වෝ වැනි ස්තාවර පිතිකරුවන් ක්‍රීඩා කලේ පැරණි කණ්ඩායම් වල ය. දැන් එම ස්තානයන් හි ක්‍රීඩා කරන්නෙ, Maxwell , Pant, Stokes වැනි ක්‍රීඩකයන් ය, එම නිසා එම අවස්තා ව දසුන් ට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය . ඔහු එයින් ප්‍රයෝජනයක් නොගන්නේ නම් , දික්වැල්ල , අසලංක වැන්නකු ඒ වෙනුවට ආදේශ කිරීමට සිදු වනු ඇත.

  6. ඊයේ දිනයේ තමන් ගෙ සාමාන්‍ය ක්‍රීඩාවෙ යෙදුණු එකම ක්‍රීඩකයා හසරංග පමණි. ඒ වෙනකොට තවත් බේරාගැනීමට කිසිත් ඉතිරි වී නොතිබීම , සහ තමන් කිසිසේත් කණ්ඩායමෙන් ඉවතට විසි නොවෙන බව දැන සිටීම එම සුවිශේෂී ඉනිමට සැලකිය යුතු බලපෑමක් කල බව දැකිය හැකි විය. ක්‍රීඩකයන් ට ආත්ම විශ්වාසයක් ඇති විට සිදුවන පෙරළිය එයයි.

  7. ලකුණු 300 ගැසීමට පෙර ලකුණු 250 ගහන්න පුලුවන් කමක් තිබිය යුතුයි. ජ්‍යෙෂ්ඨයන් නොමැති ව ක්‍රීඩා කල කිසිදු කණ්ඩායම ක් ජයග්‍රහණය කර නැතැයි වැනි අඳෝනා මුලුමනින්ම බැහැර කර මේ කණ්ඩායම සමඟ ම සැලකිය යුතු කාලයක් ක්‍රීඩා කිරීමට අධිශ්ඨාන කල යුතු බව සිතමි. පරිපාලනය එම තීරණයෙ ඍජු ව සිටින්නේ නම් එය සාධාරණීකරණය කිරීමට ක්‍රීඩකයන් කටයුතු කල යුතුය .

සරලව මගේ අදහස ඊයේ තරඟය පරාජය වුවද කලබල විය යුතු නැති බවයි. ඉදිරියට තිබූ අඩිය කිසි ලෙසක ආපස්සට ගතයුතු නැත.

– Cricket with Charitha

 

 

Leave A Reply

Your email address will not be published.

ten − 2 =