SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන Sri Lanka Technological Campus (SLTC) මඟින් සංවිධානය කරන ලද SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය’ පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පර්යේෂණ සහ නවෝත්පාදන අංශ ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ විශිෂ්ටයන් අගැයීමට ලක් කිරීම මෙම සම්මාන උලෙළේ අරමුණ විය.

පසුගිය වසරක කාලය තුළ දී, විශේෂයෙන්ම පර්යේෂණ අංශයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ පර්යේෂකයන්, ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ සිසු සිසුවියන් පිරිසක් වෙත මෙහි දී සම්මාන පිරිනමන ලදී. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ දී පැවැති World Invention & Trade Expo (WINTEX) පර්යේෂණ පත්‍රිකා තරගයේ ජයග්‍රහණය හිමි කර ගත් ශිෂ්‍යයා ද මෙම සම්මාන උලෙළේ දී අගැයීමට ලක් විය. ඉංජිනේරු අධ්‍යයන අංශයේ කණ්ඩායම් 5ක් රන් සම්මාන 3ක්, රිදී සම්මාන 2ක් සමඟ ‘Best of the Best’ කාණ්ඩය යටතේ විශිෂ්ටතම තාක්ෂණ භාවිතාව වෙනුවෙන් විශේෂ සම්මානයක් හිමි කර ගැනීමට සමත් වූහ.

මෙහි දී අදහස් දක්වමින් SLTC නිර්මාතෘ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ ඒකායන අරමුණ ඇතිව 2014 වසරේ දී SLTC ආයතනය ආරම්භ කෙරුණේ ඩොලර් මිලියන 1ක ආයෝජනයකින්. මේ වන විට මෙම ආයතනය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ගැන මා සැබැවින්ම ආඩම්බර වනවා. ජාත්‍යන්තර ආයතනවලින් පිරිනමන සම්මාන ද ඇතුළුව අද දිනයේ බෙදා දුන් මෙම සම්මාන අපගේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමට අප කෙතරම් දුරකට සමත් වී ඇති ද යන්න සම්බන්ධයෙන් හොඳ සාක්ෂියක්. මේ වන විට 3,000කට වැඩි සිසු සිසුවියන් පිරිසක්, 200කට අධික අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ අතිනවීන පහසුකම් රාශියක් අප සතු වන අතර, අප රැකියා වෙළෙඳපොළට ගැළපෙන, ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් ලැබූ, අනාගත නායකයන් බවට පත්වීමේ හැකියාව සහිත උපාධිධාරීන් පිරිසක් නිර්මාණය කරමින් සිටිනවා.”

එමෙන්ම, තම ආදායමින් 25%ක් පර්යේෂණ සඳහා වෙන් කළ ප්‍රථම විශ්වවිද්‍යාලය මෙන්ම, පර්යේෂණ සඳහා වෙනම පීඨයක් සහිත එකම ආයතනය SLTC බවත්, එය Centre for Global Education (CGE) වැනි ක්‍රමවේදයන් හරහා පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවත් රූබසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකික ආදිවාසී වැදි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද විශේෂාංගය මෙම සම්මාන රාත්‍රියේ කාගේත් සිත් ගත් අංගයක් විය. ඒ සඳහා හැඳින්වීම කරන ලද්දේ සම්මානනීය සංගීත ශිල්පියකු මෙන්ම SLTC ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ද වන නදීක ගුරුගේ මහතා විසිනි. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් පවත්වන ලද SLTC ​පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය අතිශයින් සාර්ථක විය●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

14 − three =