ලෝකෙ ලස්සනම මිනිස්සු නැති දවසක…!

නුවර ලස්සන වැස්සට ලු‍… කොළඹ ලස්සන රෑට ලු‍… ඒ කොහොම වුණත්, ලෝකෙම ලස්සන වෙන්නෙ මිනිස්සු මේ ලෝකෙන් නැති වුණ දාට කියලා කිව්වොත් අද වර්තමානයේ මේ වෙන දේවල් එක්ක බලද්දි වැරැදි නෑ. මොකද? ලස්සනටම තියෙන මහ මුහුදට තෙල් තට්ටු පිටින් කාන්දු වෙලා මුහුදු ජීවීන් වඳ වෙලා යන්නෙ මිනිස්සුන්ගෙ ක්‍රියාකලාප නිසා. ලස්සනම වෙරළ තීර කුණු කඳුවලින් පිරිලා යන්නෙත්, මුහුදට ප්ලාස්ටික්, පොලිතීන් වැනි අපද්‍රව්‍ය එකතු වෙන්නෙත් මේ මිනිස්සුන්ගෙ චාරයක් නැතිකම නිසා. ඒ වගේම මිනිස්සු කිසිම ඉවක් බවක් නැතිව පරිසරයට ප්ලාස්ටික්, පොලිතීන් බැහැර කරන නිසා. ඒ විතරක්ම නෙවෙයි, ලෝකයේ පෙණහැල්ල බඳු වූ ඇමේසන් වනාන්තරය ටිකෙන් ටික විනාශ වෙලා යන්නෙත් මේ මිනිස්සුන්ගෙ වරදින්. ඒ නිසා වටිනා ශාක විතරක් නෙවේ… මේ ලෝකෙට අත්‍යවශ්‍ය ජීවීන් පවා මේ වෙන කොට වඳවීමට ලක් වෙලා තියෙන්නෙ කියලා අමුතුවෙන් කිව යුතු නැහැ. රතු දත්ත වාර්තා ඒ බව වඩාත් හොඳට පෙන්වලා දීලා තියෙනවා. දිනෙන් දින රතු දත්ත වාර්තා අතරට යන ශාක සහ ජීවීන් ගණන වැඩි වෙමින් පවතින බව ඒවා අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වෙනවා.

විශේෂයෙන්ම පරාගණයට සුවිශාල දායකත්වයක් දෙන මී මැස්සන් මේ වන විටත් වඳ වීගෙන යන සත්ත්ව කොට්ඨාසයක් බව ඔබ දන්නවා ද? මේ මී මැසි ගහණය ලෝකයෙන් තුරන් වී ගිය දිනෙක ඔබට, මට ආහාර නොමැතිව සාගින්නේ මිය යාමට සිදුවේවි. මොක ද? පරාගණය මඟින් ශාකවල පලදාව ඇති කිරීමට මූලික වශයෙන්ම දායක වන්නේ මේ මී මැස්සන් නිසා.

වාහනවල දුම නිසා පරිසරයට කොපමණ විෂ වායු නිකුත් වනවා ද? ඉන්දියාවේ නව දිල්ලි නුවර කර්මාන්ත ශාලාවල සහ වාහන දුම නිසා පරිසරය කොපමණ අපවිත්‍ර වෙලා ද? මේ සියල්ල කාර්මිකකරණයේ ප්‍රතිඵලයකි. කොවිඩ් 19 නිසා ලෝකයම ටික කාලයකට අකර්මණ්‍ය වී තිබූ මොහොතේ නව දිල්ලි නුවර, චීනයේ බීජිං නුවර දිස් වූ පැහැදිලි අහස ඔබ රූප රාමු මඟින් දුටුවා යැයි සිතමි. මිනිසාගේ ක්‍රියාවලීන් බොහොම කෙටි කාලයකට නැවැත්වීමෙන් සිදු වූ විපර්යාසය කෙතරම් යහපත් ද?

මේ මී මැසි ගහණය විතරක් නෙවෙයි, ලංකාව නිදර්ශනයක් විදියට ගත්තොත්, ප්‍රධාන වශයෙන් අලිගහණය ඇතුළු බොහොමයක් සතුන් විනාශ වෙන්නෙ ‘සංවර්ධනය’ කියන කාරණය මූලික කරගෙන කරන ඉවක් බවක් නැතිව වනාන්තර එළි කිරීමේ ක්‍රියාවලිය නිසයි. ඔබට මතක ඇති මෑතක දී මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරඳ ශාකය. මෙය රතු දත්ත පොතේ සඳහන් වූ ආකාරයට ලෝකයෙන් වඳ වී ගිය ශාක විශේෂයක්. නමුත්, එම ශාකය රැකගැනීමට බාධාවක් වූයේ  ද සංවර්ධනයේ නාමයෙන් අදාළ පාර්ශ්ව කරගෙන යන වන විනාශයයි. යම් දිනෙක ලෝකයේ පවත්නා අවසන් ගස ද වඳ වී ගියහොත්, අපට ඔක්සිජන් ටැංකි විකිණීමට හෝ ඔක්සිජන් ඉතිරි නොවනු ඇත.

මේ මිනිසා නිසා ලෝකයට වන එක් හානියක් පමණි. ඒ වගේම මිසයිල අත්හදාබැලීම්, විකිරණශීලී වායු සහ නිෂ්පාදන නිසා මේ පරිසරයට වන හානිය සුළුපටු නොවේ. නිකමට කල්පනා කරන්න… වාහනවල දුම නිසා පරිසරයට කොපමණ විෂ වායු නිකුත් වනවා ද? ඉන්දියාවේ නව දිල්ලි නුවර කර්මාන්ත ශාලාවල සහ වාහන දුම නිසා පරිසරය කොපමණ අපවිත්‍ර වෙලා ද? මේ සියල්ල කාර්මිකකරණයේ ප්‍රතිඵලයකි. කොවිඩ් 19 නිසා ලෝකයම ටික කාලයකට අකර්මණ්‍ය වී තිබූ මොහොතේ නව දිල්ලි නුවර, චීනයේ බීජිං නුවර දිස් වූ පැහැදිලි අහස ඔබ රූප රාමු මඟින් දුටුවා යැයි සිතමි. මිනිසාගේ ක්‍රියාවලීන් බොහොම කෙටි කාලයකට නැවැත්වීමෙන් සිදු වූ විපර්යාසය කෙතරම් යහපත් ද? දැන් ඔබට පැහැදිලි වනවා ඇති මිනිසාගේ ක්‍රියාකලාපයන් කෙතරම් දුරට පරිසරයට නොගැළපෙනවා ද යන්න. ඉතින් මිනිස්සු නැතිව ලෝකය ලස්සන වන බවට මේ හැර තවත් සාක්ෂි කුමට ද…? යම් දිනෙක මිනිසුන් නැති ලොවක සතුන් ඔවුනොවුන්ට රිසි සේ තම ජීවිත ගෙවා දමාවි. ගහකොළ කිසිදු බාධාවක් නැතිව රිසි සේ දලු‍ ලා වැඩේවි. සතුන්ට හුස්ම ගන්න සුපිරිසිදු වායුගෝලයක් නිර්මාණය වෙලා තියේවි. රට රටවල පවතින දේශසීමා  සොයන්නටවත් නැති වේවි. මුළු ලොවම තනි යායක් බවට පත් වේවි.

■ සුබෝධා හේමාලි

 

 

Leave A Reply

Your email address will not be published.

9 + sixteen =