ආයුබොවන්ඩ ලොකූ,

මෙච්චර කාලෙකට පිළියන්දල- කැස්බෑව පැත්තේ ලොක්කෙක් වෙලා උන්නු තමුන්නැහැ පහුණු දොහක කොරපු හපන්කොමෙන් පස්සෙ සකල සිරි ලංකාවෙම නමගිය ලොක්කෙක් බවට පත්වීම ගැන අපිටනං තියෙන්නෙ පුදුම තන්තෝසයක්. ලෝකෙම ලොක්ඩවුන් කොලත් මුන්නැහැගෙ ඒරියල් එකේ එහෙම සෙල්ලන් දාන්ඩ බැහැ කියලා ලෝක සවුක්කිය සංවිදානෙට දැනෙන්නත් එක්ක ඔහේ අල්ලපු අඩව්වනං මාරම මාරයි ලොක්කා.

අපෙ සෑරුත් නිතරම දොඩන්නා හේ සිංගප්පූර්- වියට්නාම්කාරයො කොරපු හැටි මිසක ඔහෙලගෙ කෙරුවාව ගැන ඊරිසියාකාරයෝ කටක්වත් හොල්ලන්නෙ නැහැනෙ. කියන්නත් වගේ පහුගිය හිංගල අවුරුදු කාලෙ ගැන විතරක්ම සලකලා බැලුවත් රටම අවුරුදු සිරියෙන් මන්මත් කොරවන්ඩ මොන තරං යුතුකං කන්දරාවක් තමුන්නැහැලා ඉටු කොළාද?

අපි නිකමට වගේ ඔහෙලගෙ සීනි-පොල්තෙල් ක්‍රියාන්විතය විතරක් මතක් කොරල බලමු. අන්දරෙයි උන්දැගෙ පුතයි රජ කාලෙ කාපු සීනි කෑම මොකක්ද කියල හිතෙනව ආයිබොවන්ඩ මුන්නැහැලා අපිට සීනි කවපු හැටි මතක්වෙනකොට. එක බිංදුවක්වත් ඉතුරු නොකර අර විසකවපු පොල්තෙල් ටික ආපහු නැව් නග්ගපු වෙලාවෙ අපේ මවුබිමේ මුරදේවතාවෝ හැටියට දිගින් දිගටම මුන්නැහලම වැඩ හිටවන්න කියලා අපි දෙයියන්ට කන්නලව් කළා ආයිබොවන්ඩ. අනිත් අතට ඒ අසමජ්ජාති වැඩේ කොරපු තක්කඩි ටික එක රැයින් කොටු කොරලා මින් මනත එහෙම ජාතික අපරාද නොකරන්ඩ උගන්නපු පාඩමත් මුන්නැහැලගෙ අනිත් කෙරුවාවල් වගේ ජාති ජාතිත් පලදෙන පුන්නියකරුමම තමා ලොකු.

නාග දේව රාජයන් ඇතු`ඵ නාත-පත්තිනි දෙව් දේවතාවුන්ගෙ ආසිරිවාදෙන් මේ තරං විස්මකර්ම වැඩ කොරන ආණ්ඩුවක් අපිට ලැබිල තියෙද්දිත් විරුද්ද පක්සකාරයො වගේම උන්දැලාට කත් අදින මාද්දිය නඩෙත් ඒ මොකුවත් නුදුටු දෑසිං ඉන්න එකනටනං කිසිම සමාවක් දෙන්ඩ වටින්නෙ නැහැ තමයි ආයිබොවන්ඩ. මෙච්චර මහා පරිමාන වැඩ ඔහෙල අතිං ඉස්ට සිද්ද වෙද්දිත් උන්දැලට පේන්නෙ පෝට් සිටි ගිවිසුං, ඇම්බියුලෑන්ස් වියදං නැත්තං කොම්පෝස් සමයං වගේ  කිසිම වැදගැම්මකට නැති කුණුහබ්බ නොවැ.

ඒ ඔක්කොමත් හරි කියමුකො නේද මැතිතුමෝ. දුරදක්නා නුවණෙන් හොඳට හිතල-මතලා තමුන්නහැගෙ වැයික්කියෙ වියාපාර පොරජාවයි- හුදී ජනතාවයි අතර මනා සම්බන්දිකොරණයක් ඇතිකොරන්ඩ ගත්තු බුද්දිමත් තීරණේටත් මුං තාමත් දෙස්-දෙවොල් දෙනවනෙ. ඩෑස්පෝරාවෙයි- ඇන්ජීයෝවලයි ඩොලර්වලින් නැටවෙන පොරොතිගාමීන්ට  ඕනෑ කොරල තියෙන්නෙ මු`ඵ රටම වස්සලා තමුන්නැහැලගෙ සවුබාග්ගියේ දැක්මට අන්නන්ඩ මිසක කොරෝනා මාරයාගෙන්

රටත් ජාතියත් මුදාගන්ඩ නෙමේනෙ. වහපු ටවුම ආපහු ඇරවලා ලොක්කා උන්ට උගන්නපු පාඩම ගැන අපෙ සෑරුත් බොහොම පොරසංසා මුකයෙන් දෙඩුවාය කියන්නෙ හැබෑද රජෝ..?

ජනතාව කිසිම ලෝබකොමක් නැතුව තුනෙන් දෙකක්ම මුන්නැහැලා අතට දීලා තියෙද්දිත් ඔය එක එක හාල්පාරුවො කියන විදිහට අරින්නෙ- වහන්නෙ මක්කටෙයි.? රට වහන්ඩ කියන උන්ගෙ කටවල් වහල දාන එක තමා ලොකු ඕකට කොරන්න තියෙන එකම පිළියම. අර බාගෙට මාස් දාගෙන රස්තියාදු ගගහා ඉන්න ආණ්ඩු විරෝදින්ව වගේ ඔය කුක්කො ටිකත් කුදලං ගෙහුං කෙළින්ම බෙරේන් වොෂ් කොරන්ඩයි තියෙන්නෙ. අපෙ සෑර් වටකොරගෙන ඉන්න උපදේසකයො ඔය වැඩේට හරි දස්සයි. කිංසිලියයි- සුදේවයයි දෙන්නට උන් කොළෙත් ඔය ටිකමනෙ ලොකු…●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

3 × 3 =