අර්ථාලංකාරයෙන් මෙන්ම ශබ්දාලංකාරයෙන්ද පොහොසත් ‘මිහිර සැඟවුණු නිම්නයක සිට’

‘මිහිර සැඟවුණු නිම්නයක සිට’ (2019) වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියාගේ දෙවන කාව්‍ය සංග්‍රහය වේ. මේ කෘතියේ එනමින් පද්‍ය පන්තියක් පාඨකයාට මුණ නොගැසේ. එබැවින් මේ කෘතියේ මාතෘකාවටද විශේෂ අවධානයක් යොමු විය යුතු යැයි සිතමි. නිම්නයක් යනු කඳු දෙකක් හෝ කඳු වැටි අතර පිහිටා ඇති අවපාතයකි. බොහෝ අවස්ථාවන්හීදී ගංගා ගලා බසින්නේ නිම්නයන් ඔස්සේය. නිම්නය පාඨක මනසේ හරිත පැහැ කඳු වැටි මැදින් ගලා යන සුනිල් සිහිලැල් ගංගාවන්ගේ සංකල්පරූපයක් චිත්‍රණය කරයි.. මානව ශිෂ්ටාචාරයන් ආරම්භවී තිබෙන්නේ ගංගා නිම්නයන් ආශ්‍රිතවය. මේ නිම්නය එසේ නම් මිනිසුන් වසනා නිම්නයකි. කවියා අපට මේ කවි ගෙන එන්නේ මිහිර සැඟවුණු නිම්නයක සිටයි. ”මිහිර සැඟවුණු නිම්නයක සිට ” සංදිග්ධතාවයකින්( Ambiguous) යුතු ටයිටලයක් ලෙස අර්ථ ගැන්විය හැකිය. සැඟවුණු යන වදන මෙහිදී ද්වි අරුත් නංවයි. සැඟවීම නොපෙනී යෑම ලෙස අර්ථ දැක්විය හැක. එහි මිහිර සැඟවී ඇත . සැඟවී තිබෙන්නේ හෝ සැඟවිය හැක්කේ තිබූ දෙයකි. සැඟවීම යන හේතු කාරනාව නිසා ඒ මිහිර තව දුරටත් පෙනෙන්නට නැත. . විඳිය නොහැක. නමුත් සැඟවූ දෙයක් නම් මොනයම් මොහොතකදී හෝ කෙසේ හෝ මතුපිටට පැමිණීමට සම්භාවිතාවක්ද තිබේ.. . දෙවන අරුත නම් පෙනී නොපෙනී පැවතීමයි. එසේ පැවතීම තුළ ඇති වන්නේද මතුවන්නේද වේදනාත්මක මිහිරකි.
වසන්ත ප්‍රදීප් කවියා ‘මිහිර සැඟවුණු නිම්නයක සිට’ කාව්‍ය කෘතියේ සිය කවියට ප්‍රාණය ලබාදෙන්නේ නූතන කවි බස් වහර උපයෝගී කරගෙනයි. ඔහු මේ කෘතියේ සිය කාව්‍යානුභූතින් කේන්ද්‍රකොටගෙන තිබෙන්නේ ප්‍රේමයේ වියෝගය, විරහව, කුටුම්භගත ජීවිතය සහ එහි හැල හැප්පීම් , හිතමිතුරුකම් යනාදී මානව සම්බන්ධයන් වටාය .
සාම්ප්‍රදායික සඳැස් කවියෙන් බැහැර වී තමාටම අනන්‍ය වූ සඳැස් සහ නිසඳැස් ආකෘතීන් තුළ සිය කවිය ගොනු කරන වසන්ත කවියා බොහෝමයක් කවි තුළ අනුප්‍රාස රසය තවරා ඇත. එබැවින් ඒ කවි අර්ථාලංකාරයෙන් පමණක් නොව ශබ්දාලංකාරයෙන්ද පොහොසත්ය.

”ඇඳී දිලුණේ දේවදුන්නද
මැකී යන බව පෙන්න පෙන්නය ..”(පිටුව 11)
“මෙසේ එන්නැයි ඇසෙන් ඉඟිකර
ඇගේ පියවර මගෙහි ගෙනගිය
ඒ මිහිරිතම අතීතය වෙත ... (පිටුව 15)
ඔහුගේ කාව්‍ය භාෂාව සහ ඔහු සිය කවියේ යොදා ගැනුණු කාව්යෝපක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු වෙනුවට මේ කෘතියෙහි එන පද්‍ය පන්තීන් තුනක් පිළිබඳ මෙසේ කෙටියෙන් විචාරීමට කැමැත්තෙමි.
”එතැන් සිට අපි වැටුණා” මේ කෘතියේ එන දෙවැනි කවි පන්තියයි. වැටීම වූ කලි කඩා වැටීමක් විය හැකිය. සබඳතාවයක බිඳවැටීමක් විය හැකිය. ‘අපි’ යනු මේ කවියේ කතා නායකයා සහ ඔහුගේ බිරිඳය. කවිය ආරම්භ වන්නේ අතීතාවර්ජනයකිනි. ඒ අතීතාවර්ජනය හරහා බිරිඳ සිය පෙම්වතිය වූ දිනය ඔහු සිහිපත් කරයි. එය පාසැල් ප්‍රේමයක් බව ‘ සුදු ගවුම ” යන යෙදුම පාඨකයාට ඉඟිකරයි . ඇගේ ප්‍රේමය ඉල්ලමින් ඈ පසු පස යන්නේ ඔහුය. ඈ ඔහුව සැමට ඇසෙන්නට ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ මමත්වයට , අභිමානයට පහරකි. ඒ පහරේ ලැජ්ජාවෙන් පරාජයෙන් ඇදවැටෙන ඔහුව ඉන් මුදවාගැනීමට ඈ සැනින් ඉදිරිපත් වී ඔහුව ලැජ්ජාවට හාස්‍යට ලක්වීමෙන් ගලවා ගනී. ඈ ඔහුගේ අභිමානය ආරක්ෂා කළ සැටිත් ඒ පෙම්වත් යුවල පසුව එකිනෙකා සමග විවාහ වූ සැටිත් ඔහුට මතකය.
එක්තරා සවසකදී සිදුවෙනා සිදුවීමක් හේතුකොටගෙන සිය බිරිඳගේ ආත්ම ගෞරවය අභිමානය පලුදු වීමත් සමග ඈ තුළ ඇතිවන කඩා වැටීම නිසා ඔවුන් තුළ කඩා වැටීමක් ඇති වුණු බව කවියේ කතා නායකයා සවිඥානිකව අවබෝධ කරගනියි.

” ඊට දෙවසරකට පසු දවසකදී
ඔබ අහර පිසින’තර සවසකදී
පුංචි දූ ඇඳෙන් බිම වැටුණා
‘ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ‘ දැන්වීම් රූ මැදින්
සාලයේ සිටිය මට ඇසුණා
සිඟිති මුව උල් කරන හඬන හැටි
ළයේ පත්ලටම ගොස් වැදුණා “
අතීතයේදී ලංකාවේ බොහොමයක් කුටුම්භයන් තුළ පොදු යතාර්ථයක් වන මේ සිදුවීම අවාසනාවන්ත ලෙස වර්තමානයේදී ද යතාර්ථයක් බවට පත්වන අවස්ථා එමට ඇත. මව කුස්සියේ වැඩ කරද්දී පියා සාලයේ රූපවාහිනිය නැරඹීම හෝ පත්තර කියවීම ගැන අප බොහෝ අවස්ථාවලදී අසා දැක ඇත. කවියා පවසන අවස්ථාවේදී දරුවා බලාගැනීමට නිදහස් කාලය තිබූ තැනැත්තා පියා බව පෙනේ. බිලිඳිය බිම වැටෙනා විට ඔහු නරඹමින් සිටින්නේ වෙළඳ දැන්වීම් බව පැහැදිලිය. දැරිය ඇඳෙන් බිම වැටීම තුළ පියාට වේදනාවක් දැනෙයි. ඔහු එහි වගකීම භාර ගන්නවා වෙනුවෙට සිය බිරිඳට වරද පටවනා සාම්ප්‍රදායික ලාංකේය පිරිමියාගේ භූමිකාවට අවතීර්ණ වූ වග අපට අවසන් කවි පන්තියෙන් නිරාවරණය වේ.

”හැමදේම ගෙනත් දාලත් ගෙදර
පොඩි එකී බලාගන්නත් බැරිද ගෑනියේ ?
මහා හඬින් පුපුරාපු මගේ වචනවල කැබලි
එහා ගෙයි සාලයට වැටුණා
ඔබේ ඇස් විසල් වී
වේදනා බිඳක්වත් නොවැටෙමින් ගල් ගැසී තිබුණා
ඒත් ඔබ එතැන් සිට හෙමි හෙමින් වැටුණා
යළිත් මට ඔසවන්න නොහැකි ලෙස
පෙනිපෙනීම වැටුණා “

කුටුම්භගත ජීවිතයකදී බැඳීමක වගකීම් බෙදා හදාගැනීම කන්න බොන්නට ගෙනත් දීමට එහා ගිය එකකි. මේ කවියේ කතා නායකයා තමා’තින් වරදක් වුණු බව අවබෝධ කරගෙන තිබේ. බිරිඳ සිය පෙම්වතිය වී ඔහුට දැනුනණු ලජ්ජාවෙන් ඔහුව මුදවා ගත්තද තමාගේ මුග්ධ ආතමාර්ථකාමිත්වයෙන් පිරි වදන් වලින් සිය බිරිඳගේ බිඳ වැටුණු ආත්මය ඔහුට යළි පිළිසකර කිරීමට නොහැකිය. වදන් යවුල් යකඩ යවුල්වලට වඩා සුව කළ නොහැකි ආකාරයේ තුවාල ඇති කරමින් දීර්ඝකාලීන අහිතකර බලපෑම් ඇතිකරයි. කවියේ එන කතා නායකයාගේ පශ්චත්තාපයක ස්වරය කවිය තුළ ජනිත කරවීමට වසන්ත ප්‍රදීප් කවියා සමත් වී ඇත.
අපි බඳිමු නොබැන්දා වගේ ඉමු කවියේ කාව්‍යානුභූතිය වන්නේද ප්‍රේමයයයි.
කට වහරේදී ප්‍රේමය විවාහයෙන් කෙළවර වුණා ලෙස පැවසීම තුළම තිබෙන්නේ සදාතනික සත්‍යයක්දැයි වරෙක සිතේ. මිනිසුන් පෙම්වතුන්ව සිටියදී එහි ඇති ප්‍රහර්ෂය විවාහ වූ පසුද පවත්වාගැනීමට හැකි වේ නම් ඒ සැබෑ භාග්‍යවන්තයෝය. පෙම්වතුන් යුවලක්ව සිටියදී මුණගැසෙන්නට බලා සිටීම්, නොඉවසිලිවන්තකම් , රහසිගත ගමන් බිමන් .. කුඩා රණ්ඩු සරුවල් සියල්ලම ආශ්වාදජනක බව මේ කවියේ කතානායකයා පවසයි.

”හැඟුම් හුවමාරුවත් කල් ඇදී ළමැද ගිනි ගන්න එක ”,
”හොඳින් නේදැයි අසන පණිවුඩයේ පමාවට අද වගෙම පැය ගණන් එක දිගට මරාගමු”
”හෙමින් රහසින් ගිහින් අද වගෙම බොක්ස් එකක හොරා කමු..”

නමුත් මේ කතානායකයට සිය පෙම්වතිය බිරිඳ කරගැනීමටද අවශ්‍යය. නමුත් ඔහු කිහිපවරක්ම සිය පෙම්වතියගෙන් විවාහ වුණද අවිවාහක පෙම්වතුන් සේ සිටිමු යන්න යෝජනා කරයි.
” ඒ නිසා අපි බඳිමු
බඳින්නේ නොබැඳ බැරි නිසාමයි හිතාගමු
නොබැන්දා වගේ ඉමු ”
කතා නායකයා ප්‍රේමයේ මිහිර දිගින් දිගටම තබා ගැනීමට නම් පෙම්වතුන් සේ සිටිය යුතු බව විශ්වාස කරනා අතර විවාහය තුළ පෙම්වතුන් තුළ ඇති ප්‍රහර්ෂය ආස්වාදජනක බව පලුදු වීමට බියක් දක්වයි. එය එක්තරා ආකාරයක කටුක යථාර්තයකි . විවාහ දිවිය තුළ නැවුම් බව දිගින් දිගටම පවත්වා ගැනීමට බොහෝ දෙනෙකුට අසීරුය. පෙම්වතුන්ව සිටිනා කාලයේදී එකිනෙකා මුණගැසීමද , එකිනෙකා සමග කාලය ගත කිරීමද ජයග්‍රහණයකි. ඔවුන්ට කායිකව පමණක් නොව එකිනෙකා නෛතිකවම හිමි කර ගැනීමද එක්තරා ආකාරය මානසික ජයග්‍රහණයකි.නමුත් විවාහ වූ පසු එසේ ජයග්‍රාහි හැඟීම් දිගින් දිගටම පවත්වා ගන්නට කරනා දේ බොහෝ දෙනෙක් නොදනිති. විවාහය තුළ ඇති වගකීම් සහගත බව වැඩි වීමත් සමගම බොහෝ දෙනෙකුට එය ඒකාකාරීව සහ නීරසව දැනෙන්නට පටන් ගනියි. එය මිනිස් චිත්තයේ ස්වභාවයයි. කතා නායකයා ඒ පිළිබඳ දක්වන බිය ඔහුගේ මේ නොබැන්දා වගේ ඉමු යනුවෙන් කරනා ඉල්ලීම හරහා ධ්වනිත වේ.. ‘දෙවේලේ දකින කුකුලාගේ කරමල සුදුවට පෙනෙන්නට සිදු වීමෙන් විය හැකි අකරතැබ්බය වලක්වා ගැනීමට කළ යුතු පිළියම නම් තමන් පෙම්වතුන්ව සිටි කාලයේ කළ කී දෑ නොකඩවා සිදු කිරීම බව ඔහු සිතයි. එය කතා නායකයා යතාර්ථයෙන් පලා යාමට ගන්නා අහිංසක උත්සාහයකි. විවාහ ජීවිතයේ සැබෑ යතාර්ථය සුන්දර එකක් කරගැනීමට නම් දෙදෙනාම අපහසුවෙන් හෝ අන්‍යොනය අවබෝධය, ගෞරවය, කරුණාව යන ගුණාංග වැඩි දියුණු කරගත යුතුය .

”ආවස්ථික පිරිවැය ” කවි පන්තිය දරුවන් සිටිනා විවාහක යුවලකට මුහුණ පෑමට සිදුවූ ආර්ථික ගැටළුවක් පිළිබඳ කතා බහකි. ආවස්ථික පිරිවැය යනු යම් විකල්පයක් තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් කැප කරන ලද හොඳම විකල්ප අවස්ථාව වේ. . එනම් හිඟකම හමුවේ කිසියම් තේරීමක් කිරීමේදී අහිමි වන හොඳම විකල්පයේ වටිනාකමයි. මෙය සෑම විටම අත් හරින ලද අවස්ථාවන් නිරූපණය කරයි. මෙවැනි අවස්ථා බොහෝ පහළ මධ්‍යම පාන්තිකයන්ට පොදු සත්‍යකි. තම තත්ත්වය ඉතාම උග්‍ර ලෙස නඩත්තු කිරීමට සිදුව ඇත්තේද මධ්‍යම පාන්තිකයන්ටය. සිය සමාජ සම්බන්ධතාවයන් වෙනුවෙන් මුදල් වැය කිරීමට ඔවුන්ට සිදුවන අතර එය ඉතා අසීරුවන අවස්ථාද ඔවුන්ගේ ජීවිත තුළ දුලබ නැත. තෑගී දෙන්නට තරම් ප්‍රමාණවත් මුදලක් නොමැති කම නිසාත් ඇඳගෙන යන්නට හොඳ තත්ත්වයේ ඇඳුම් නැති නිසාත් සහභාගී වීමට නොහැකි වූ , මගහැරී ගිය උත්සව එකක් හෝ නොමැති නම් එය සැබෑම වාසනාවකි. මට මේ කවි පන්තිය කියවනා විට ගී ද මෝපසාංගේ දියමන්ති මාලය කෙටිකතාව මතක් වේ. එහි එන මැටිල්ඩා ලොයිසල් මෙන් නොවී කවි පන්තියේ එන කතා නායකයාගේ බිරිඳ ස්වේච්චාවෙන් සිය සැමියාගේ ගැටළුවට විසඳුමක් දීමට ඉදිරිපත්වන්නේ ඉන් රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට හැකිවන නිසාය. මෙහි කවියා කතානායකයාගේ බිරිඳ සඳවත යන රූපකයෙන් හඳුන්වාදෙයි. සඳේ ඇති සෞම්‍ය බව සහ සිසිලසෙන් යුතුව සිය සැමියාට ඇයගෙන් ලැබෙනා සහයෝගය අගය කිරීමක්ද එම රූපකය භාවිතාකිරීමෙන් සිදුවේ.

”වලාකුළු සළු ආයෙ අලුතින්
මේ වෙලාවේ ගන්න බෑ
දෙදෙනාම සාදයට ගියෝතින්
දෙදාහක් දී එන්න බෑ .
ඒත් නොගිහින් ඉන්න බෑ ..
” ඒ නිසා ඔයා යන්න තනියම ”
එකම අවසන් විසඳුම කියා දුන්නා සඳවත.
නමුත් දරුවා අසනීප වීම නිසා බෙහෙත් ගන්නට සිදුවීමෙන් කතා නායකයා සතුව තිබූ මුදල වියදම් වේ. එබැවින් ඔහුට මිතුරාගේ මංගලෝත්සවයට සහභාගී වීමට නොහැකි වේ. ශ්‍රී ලාංකීය සමාජය තුළ වඩාත්ම පීඩාවට බඳුන් වන්නේ මධ්‍යම පාන්තිකයන්ය. ඔවුන් තම සමාජ සම්බන්ධතා සහ ආර්ථික තත්ත්වයන් නඩත්තු කිරීමේ අනවරත අරගලයක යෙදී සිටින්නේ පවතින ක්‍රමය හේතුකොට පමණක් නොව සියල්ල වානිජකරණය වූ ලෝකයක ඔවුන් අසරණ වී ඇති නිසාය. මෙම ආර්ථික සාමාජීය තත්ත්වයන් නඩත්තු කිරීමට අපොහොසත් වීම තුළ විවධ අවස්ථාවන්හි සිනහවට බඳුන් වීමටත් අසමත් වීමටත් සිදු වේයැයි ඔවුහු බිය වෙති. ඒ හේතුන් නිසා එකිනෙකා තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධතාවයන් කරනකොට ගෙන සමාජ සම්බන්ධතා බිඳ වැටෙනා අවස්ථාවන්ද ඇත. ඔවුන් සත්‍ය පැවසීමටද බිය වන්නේ ඒ තුළද තමන්ට අවාසි සිදුවිය හැකි බව දන්නා නිසාය.. සිය ආර්ථිකය සමග සමාජ තත්ත්වයන් සම්බන්ධතා නඩත්තු කිරීමට සිදුවීමේ අතිරේඛ පීඩාව සහ වෙහෙසකර බවින්ද ගැලවීමට නොහැකි වේදනාව මේ කවි පන්තිය හරහා මතු කර දැක්වීමට වසන්ත ප්‍රදීප් කවියාට හැකි වී ඇත.
සමස්තයක් ලෙසට ගත් කළ මිහිර සැඟවුණු නිම්නයක සිට අගය කළ හැකි කවි එකතුවකි. එහි වූ කවි පන්තීන් විවධ මානයන් ඔස්සේ ලියැවුණේ නම් වඩාත් හොඳ බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. නමුත් එය සැමවිටම එසේම විය යුතු යැයි කියා නියමයක් නැත. තමා තෝරාගන්නා තේමා මානයන් ඔස්සේ සිය නිර්මාණ ඉදිරිපත් කිරීමේ පූර්ණ නිදහස නිර්මාණකරුවා සතුය. වඩාත් වැදගත් වන්නේ සිය ඉදිරිපත් කිරීම් තුළ වූ නැවුම් බව සහ අපූර්වත්වය රැකගැනීමය.
-කාංචනා ප්‍රියකාන්ත (fb)

Leave A Reply

Your email address will not be published.

two × one =